ඉරානය සහ ඇමරිකාව අතර පවතින දරුණු ගැටුම්කාරී වාතාවරණය හමුවේ, කලාපීය ස්ථාවරත්වය සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඉන්දියාවේ නායකත්වයෙන් යුත් බ්‍රික්ස් (BRICS) සංවිධානය සක්‍රීය මැදිහත්වීමක් කළ යුතු බව ඉරාන විදේශ අමාත්‍ය සෙයියඩ් අබ්බාස් අරාග්චි (Abbas Araghchi) පවසයි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා සමඟ ඊයේ (බ්‍රහස්පතින්දා) රාත්‍රියේ පැවැති දුරකථන සංවාදයකදී ඔහු මේ බව අවධාරණය කළේය.
දෙරටේ විදේශ ඇමතිවරුන් අතර ගැටුම ආරම්භ වූ දා සිට පැවැති සිව්වන සංවාදය මෙය වන අතර, මෙහිදී ද්විපාර්ශ්වික සබඳතා මෙන්ම බ්‍රික්ස් සංවිධානයට අදාළ කරුණු පිළිබඳව ද අවධානය යොමු කර තිබේ. ඉරානයට එල්ල වූ හමුදාමය ආක්‍රමණයන් ජාත්‍යන්තර සංසද හරහා හෙළා දැකීමේ අවශ්‍යතාවය ද අරාග්චි මහතා මෙහිදී පෙන්වා දී ඇත.
බහුපාර්ශ්වික සහයෝගීතාවය වර්ධනය කරන ප්‍රධාන සංසදයක් ලෙස බ්‍රික්ස් සංවිධානයට ලෝක සාමය සහ කලාපීය ආරක්ෂාව වෙනුවෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකි බව ඉරාන විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. ඉන්දියාව වර්තමානයේ බ්‍රික්ස් සංවිධානයේ ප්‍රමුඛ භූමිකාවක් හොබවන බැවින්, මැදපෙරදිග අර්බුදය සමනය කිරීමට ඉන්දියාවේ මැදිහත්වීම ඉරානය ඉහළින්ම අපේක්ෂා කරයි.














