ශ්‍රී ලංකාවේ ජල සුරක්ෂිතතාව තහවුරු කරන සුවිශේෂී සොයාගැනීමක් ලෙස, මෙරටින් හමු වූ විශාලතම භූගත ජල මූලාශ්‍රය පිටබැද්දර ප්‍රදේශයේ සිදුකළ නළ ළිං කැණීමකදී සොයා ගැනීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමත්ව තිබේ. දකුණු පළාත් භූ විද්‍යා භාර නිලධාරී ඉන්ද්‍රජිත් ගමගේ මහතා තහවුරු කළේ, මෙම ජල මූලාශ්‍රයෙන් මිනිත්තුවකට ලීටර් 10,000ක අඛණ්ඩ ජල ධාරිතාවක් ලබාගත හැකි බවයි. මීට පෙර මෙරටින් හමු වූ විශාලතම භූගත ජල මූලාශ්‍රය ලෙස වාර්තා වූයේ මඩු ප්‍රදේශයෙන් හමු වූ මිනිත්තුවකට ලීටර් 7,000ක ධාරිතාව සහිත ජල මූලාශ්‍රයයි.
විශේෂිත තාක්ෂණික උපකරණ භාවිත කරමින් සිදුකළ භූ විද්‍යාත්මක අධ්‍යයනයන් මගින් භූගත පාෂාණ ස්ථර අතර පවතින පැලුම් කලාප හඳුනා ගැනීම හරහා මෙම ජල නිධිය සොයාගෙන ඇත. ගැඹුරු පාෂාණ සිදුරු කරමින් සිදුකළ මෙම කැණීම සාර්ථක වීමත් සමඟ, එම ප්‍රදේශයේ ජල අවශ්‍යතාවට ස්ථිර විසඳුමක් ලැබී තිබේ.
මෙම අතිවිශාල ජල ධාරිතාව උපයෝගී කරගනිමින් පිටබැද්දර, මොරවක සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල පවතින ජල හිඟයට කඩිනම් විසඳුම් ලබා දීමට ජල සම්පාදන මණ්ඩලය සැලසුම් කර ඇත. මතුපිට ජල මූලාශ්‍ර පෑයීමත් සමඟ සිඳී යන අවස්ථාවලදී මෙම භූගත ජල නිධිය එම ප්‍රදේශවාසීන්ට මහඟු අස්වැසිල්ලක් වනු ඇතැයි බලධාරීන් අපේක්ෂා කරයි.














