අද (මාර්තු 14) පස්වරු 2.00 න් පමණ පසුව දිවයිනේ පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මෙලෙස තැනින් තැන වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ සඳහන් වේ.
මීට අමතරව නැගෙනහිර පළාතේ මෙන්ම පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ද වැසි ස්වල්පයක් ඇති වීමට ඉඩ තිබේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද අපේක්ෂා කළ හැකිය.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී. විශේෂයෙන්ම එළිමහන් ස්ථානවල සහ උස් ස්ථානවල රැඳී සිටීමේදී වැඩි අවධානයක් යොමු කරන ලෙස ද දන්වා ඇත.














