හොරණ – කළුතර ප්‍රධාන මාර්ගයේ රෙමුණ මහා විද්‍යාලය ඉදිරිපිටදී පසුගියදා ඉතාමත් සංවේදී මෙන්ම ආදර්ශමත් උපන් දින සැමරුමක් පවත්වනු ලැබීය. ඒ දිනපතාම එම පාසලේ දූ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මාර්ගයේ රථ වාහන හසුරුවන අඟුරුවාතොට පොලිසියේ රථ වාහන අංශයේ සැරයන් සුමින්ද සමන් මහතාගේ 46 වැනි උපන් දිනය වෙනුවෙනි.
මෙම අපූරු සැමරුම සංවිධානය කර තිබුණේ රෙමුණ මහා විද්‍යාලයේ රථ වාහන නියාමක සංසදයේ දූ දරුවන් විසිනි. දිනපතාම හිමිදිරියේ පාසල අසලට පැමිණ දරුවන් පාර මාරු කරවමින් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවී කටයුතු කරන මෙම නිලධාරියා කෙරෙහි දරුවන් තුළ පවතින ගෞරවය සහ ආදරය මෙයින් මැනවින් ප්‍රදර්ශනය විය. තමන් විසින් එකතු කරගත් මුදලින් කේක් ගෙඩියක් රැගෙන ආ දරුවන්, මාර්ගය අයිනේ නවතා තිබූ පොලිස් යතුරුපැදිය මත තබා එය කපා සුමින්ද සමන් මහතාට සුබ පැතුම් එක් කළහ.
අඟුරුවාතොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංක රාජකරුණා මහතාගේ මගපෙන්වීම යටතේ සේවය කරන සුමින්ද සමන් මහතා, ගුරු-දෙගුරුන්ගේ මෙන්ම සිසුන්ගේද නොමඳ පැසසුමට ලක්වූ නිහතමානී නිලධාරියෙකි. ඔහුගේ සේවය අගයමින් විදුහල්පති එම්.ජී.සී. පුෂ්පික මහතා විසින් මීට පෙරද ප්‍රශංසා ලිපි නිකුත් කර ඇත. මෙම අවස්ථාව පොලිස් නිලධාරීන් සහ මහජනතාව අතර පවතින සබඳතාව තවදුරටත් ශක්තිමත් කරන කදිම ආදර්ශයක් ලෙස ප්‍රදේශවාසීහු අගය කරති.














