අඛණ්ඩව 20 වන වරටත් සංවිධානය කරනු ලබන ‘INCO 2026’ කාර්මාන්ත හා වෙළඳ ප්‍රදර්ශනය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (මාර්තු 13) පෙරවරුවේ ආරම්භ විය. ශ්‍රී ලංකා සංස්ථාපිත ඉංජිනේරුවන්ගේ ආයතනය මගින් මෙහෙයවනු ලබන මෙම ප්‍රදර්ශනය මාර්තු 15 වනදා දක්වා පැවැත්වෙන අතර මෙරට ඉංජිනේරු සහ කාර්මික ක්ෂේත්‍රයේ නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීම මෙහි මූලික අරමුණයි.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ රටක ප්‍රායෝගික ගැටලු විසඳීමටත්, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත් ඉංජිනේරු ක්ෂේත්‍රය ප්‍රධාන බලවේගයක් වන බවයි. රටේ කාර්මික සංවර්ධනය වේගවත් කිරීම සඳහා රජය විසින් ජාතික කර්මාන්ත තොරතුරු පද්ධතිය (NIIS) වැනි මධ්‍යගත ඩිජිටල් වේදිකාවන් නිර්මාණය කර ඇති බවත්, ප්‍රතිචක්‍රීකරණ අරමුදල් (Revolving Funds) හරහා කර්මාන්තකරුවන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපයීමට පියවර ගෙන ඇති බවත් ඇය පෙන්වා දුන්නාය. විශේෂයෙන්ම මෙවර ප්‍රදර්ශනය සඳහා විදේශීය සහභාගිත්වය ද හිමිව තිබීම දේශීය ව්‍යවසායකයන්ට ජාත්‍යන්තර තාක්ෂණය සහ වෙළඳපොළ අවස්ථා අත්හදා බැලීමට කදිම අවස්ථාවක් වනු ඇතැයි ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ, ජාතික කඩදාසි සමාගමේ සභාපති උපාලි රත්නායක සහ ශ්‍රී ලංකා සංස්ථාපිත ඉංජිනේරුවන්ගේ ආයතනයේ සභාපති ඉංජිනේරු ආනන්ද ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු දෙස් විදෙස් ආයෝජකයින් සහ ව්‍යවසායකයින් පිරිසක් ද මෙම සමාරම්භක උළෙලට එක්ව සිටියහ.














