දකුණු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී බහුදින ධීවර යාත්‍රා දෙකක තිබී රුපියල් බිලියන 10කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සහ නවීන පන්නයේ ගිනිඅවි සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් 10 දෙනාට දින 7ක රැඳවුම් නියෝග ලබා දී තිබේ. නාවික හමුදාව මගින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන පසුගිය 12 වනදා දික්ඕවිට වරායට රැගෙන ආ මෙම පිරිස අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙලෙස රැඳවුම් නියෝග නිකුත් කර ඇත. සැකකරුවන් අවුරුදු 22ත් 49ත් අතර වයස්වල පසුවන ඉරණවිල, වෙන්නප්පුව, මීගමුව සහ තංගල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක පදිංචිකරුවන් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පවසයි.
මෙම වැටලීමේදී හෙරොයින් කිලෝග්‍රෑම් 176ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 478ක් ඇතුළුව සමස්තයක් ලෙස මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 654ක් පමණ සොයාගෙන තිබේ. ඊට අමතරව පිස්තෝල අවි 8ක්, ටී-56 අවි 2ක් සහ M16 වර්ගයේ නවීන ගිනිඅවියක් ඇතුළු උණ්ඩ සහ මැගසින් තොගයක් ද ජාවාරම්කරුවන් සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන ඇත. මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි ජාවාරම් කිරීම මෙන්ම ඊට ආධාර අනුබල දීම යටතේ මොවුන්ට එරෙහිව ඉදිරි විමර්ශන ක්‍රියාත්මක වන අතර මෙය මෑත ඉතිහාසයේ මුහුදේදී අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය සහ ආයුධ තොගයක් ලෙස සැලකේ.














