ඉන්දියාවේ සේවය කරන කාන්තාවන් සහ ශිෂ්‍යාවන් සඳහා අනිවාර්ය ඔසප් නිවාඩුවක් (Menstrual Leave) ලබා දෙන ලෙස ඉල්ලා ඉදිරිපත් වූ පෙත්සමක් එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. අගවිනිසුරු සූර්ය කාන්ත් මහතා ඇතුළු ද්විපුද්ගල විනිසුරු මඩුල්ල මෙහිදී පෙන්වා දී ඇත්තේ එවැනි නීතියක් පැනවුවහොත් පෞද්ගලික අංශයේ ආයතන කාන්තාවන් සේවයට බඳවා ගැනීමට මැලි වනු ඇති බවයි. මෙය කාන්තාවන්ගේ වෘත්තීය වර්ධනයට මෙන්ම ඔවුන්ගේ රැකියා අවස්ථා අහිමි වීමට ද හේතු විය හැකි බව අධිකරණය අවධාරණය කළේය.
නීතිඥ ශෛලේන්ද්‍ර මණි ත්‍රිපති විසින් ඉදිරිපත් කරන ලද මෙම පෙත්සම මගින් මසකට දින 2ක් හෝ 3ක නිවාඩුවක් අපේක්ෂා කළ ද, විනිසුරුවන් ප්‍රකාශ කළේ මෙවැනි ප්‍රතිපත්තියක් හරහා කාන්තාවන් තම පිරිමි සගයන්ට වඩා පහළ මට්ටමක සිටින බවට වැරදි මතයක් සමාජගත විය හැකි බවයි. කෙසේ වෙතත්, රජයට අවශ්‍ය නම් අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කර මෙවැනි ප්‍රතිපත්තියක් සකස් කළ හැකි බව ද අධිකරණය සඳහන් කළේය. දැනටමත් ඉන්දියාවේ කේරළය සහ කර්නාටක වැනි ප්‍රාන්ත කිහිපයක් සහ සමහර ප්‍රධාන පෞද්ගලික සමාගම් ස්වේච්ඡාවෙන් සිය සේවිකාවන් සඳහා මෙම නිවාඩුව හඳුන්වා දී තිබේ.














