රුසියානු තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් ඇමරිකාව ඉන්දියාවට ලබා දී ඇති සහනය (Waiver) උපහාසයට ලක් කරමින් ඉරාන විදේශ අමාත්‍ය සෙයියඩ් අබ්බාස් අරග්චි මහතා ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය මීට පෙර රුසියානු තෙල් ආනයනය නතර කරන ලෙස ලොව පුරා රටවලට දැඩි පීඩනයක් එල්ල කළ ද, දැන් ඉරානය සමඟ යුද්ධයකට පැටලීමෙන් පසු රුසියානු තෙල් මිලදී ගන්නා ලෙස ඉන්දියාව ඇතුළු රටවලින් “බැගෑපත් වෙමින්” සිටින බව ඔහු පෙන්වා දෙයි.
ඉරානයට එරෙහි “නීති විරෝධී යුද්ධයට” සහය දක්වන යුරෝපීය රටවල් ද විදේශ අමාත්‍යවරයාගේ විවේචනයට ලක් විය. ඉරානයට එරෙහිව ඇමරිකානු සහය ලබා ගැනීම වෙනුවෙන් යුරෝපය රුසියාවට එරෙහි ස්ථාවරයක සිටින බවත්, පවතින උග්‍ර බලශක්ති අර්බුදය හමුවේ ඇමරිකාවේ ප්‍රතිපත්ති පරස්පර විරෝධී වී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ඉරානය සහ ඇමරිකාව අතර පවතින යුදමය වාතාවරණය හමුවේ ගෝලීය තෙල් වෙළඳපොළ මෙලෙස දැඩි අස්ථාවරත්වයකට පත්ව ඇත.














