ආසියානු කුසලාන කාන්තා පාපන්දු තරගාවලියක් අතරතුර ඉරාන ජාතික ගීය ගැයීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සිය රට තුළ තමන්ට හිංසා පීඩා එල්ල විය හැකි බව පවසමින් ඕස්ට්‍රේලියාවෙන් දේශපාලන රැකවරණ පැතූ ඉරාන ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තිදෙනෙකු යළි ඉරානය බලා යාමට තීරණය කර ඇති බව ඕස්ට්‍රේලියානු රජය අද ප්‍රකාශ කළේය. පසුගිය සතියේදී ඕස්ට්‍රේලියානු රජය විසින් මෙලෙස රැකවරණ පැතූ ක්‍රීඩිකාවන් හත් දෙනෙකු සඳහා මානුෂීය වීසා බලපත්‍ර ලබා දීමට පියවර ගෙන තිබුණද, ඉන් පස් දෙනෙකුම මේ වන විට සිය තීරණය වෙනස් කර තිබීම විශේෂත්වයකි. ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් මහතා සඳහන් කළේ අදාළ ක්‍රීඩිකාවන් හත් දෙනාගෙන් සිවු දෙනෙකු මේ වන විටත් ඕස්ට්‍රේලියාවෙන් පිටව ගොස් ඇති අතර තවත් ක්‍රීඩිකාවක මීට පෙර සිය තීරණය වෙනස් කළ බවයි.
මෙම ක්‍රීඩිකාවන් සිය තීරණය දැනුම් දීමෙන් අනතුරුව ඒ පිළිබඳව නැවත සලකා බැලීම සඳහා ඕස්ට්‍රේලියානු බලධාරීන් ඔවුන්ට අවස්ථා කිහිපයක්ම ලබා දී තිබේ. ක්‍රීඩිකාවන් මෙවැනි දුෂ්කර තීරණයක් ගැනීමට බලපෑ පසුබිම වෙනස් කිරීමට රජයට නොහැකි වුවද, ඔවුන්ට අවශ්‍ය අවස්ථාවන් සහ පහසුකම් සලසා දීමට කටයුතු කළ බව අමාත්‍යවරයා සිය ප්‍රකාශය මගින් වැඩිදුරටත් අවධාරණය කළේය. මුලින් ඔවුන් දේශපාලන රැකවරණ ඉල්ලා සිටියේ ජාතික ගීය ගැයීම ප්‍රතික්ෂේප කරමින් සිදුකළ විරෝධතාව නිසා ඉරානය තුළ තමන්ට එල්ල විය හැකි බරපතල ප්‍රතිවිපාක පිළිබඳව පැවති දැඩි භීතිය හේතුවෙනි.














