ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය අවසන් කිරීම සඳහා ගිවිසුමකට එළඹීමට ඉරානය සූදානම් බව ප්‍රකාශ කළද, එහි කොන්දේසි තවමත් ප්‍රමාණවත් නොවන බැවින් තමන් ඊට සූදානම් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. NBC පුවත් සේවය සමඟ පැවැති මිනිත්තු 30ක දුරකථන සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ ඕනෑම ගිවිසුමක් ඉතා ස්ථිරසාර විය යුතු බවත්, ඉරානය සිය න්‍යෂ්ටික අභිලාෂයන් සම්පූර්ණයෙන්ම අත්හැරීම එහි අනිවාර්ය කොටසක් විය යුතු බවත්ය. ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි තවමත් ජීවතුන් අතර සිටිනවාද යන්න පිළිබඳව ද මෙහිදී සැක පළ කළ ට්‍රම්ප් මහතා, ඔහු රූපවාහිනිය ඉදිරියට නොපැමිණ ලිඛිත ප්‍රකාශ පමණක් නිකුත් කිරීම හරහා ඔහු තුවාල ලබා හෝ සැඟවී සිටින බවට ඉඟි පළ වන බව සඳහන් කළේය.
හමුදා මෙහෙයුම් පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ ඉරානයේ ප්‍රධාන තෙල් පර්යන්තය පිහිටි කාර්ග් දූපත (Kharg Island) අමෙරිකානු ප්‍රහාර හමුවේ මුළුමනින්ම විනාශ වී ඇති බවයි. ලෝක තෙල් මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා හෝමූස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) ආරක්ෂාව තහවුරු කිරීමට චීනය, ප්‍රංශය සහ ජපානය වැනි රටවල සහය ලබා ගන්නා බවත්, අමෙරිකාවේ ඉන්ධන මිල ඉහළ යාම පිළිබඳව තමන් අනියත බියක් ඇති කර නොගන්නා බවත් ඔහු පැවසීය. යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි සමඟ ගිවිසුමකට එළඹීම රුසියානු ජනාධිපති පුටින්ට වඩා අපහසු බව පවසමින් සෙලෙන්ස්කිව විවේචනය කළ ට්‍රම්ප් මහතා, යුක්රේනයෙන් ලබා දෙන යුද ආධාර හෝ උපදෙස් අමෙරිකාවට අවශ්‍ය නොවන බව ද අවධාරණය කළේය.














