මෙරට සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින් හෙද පුහුණුව සඳහා තෝරාගත් සිසු සිසුවියන් 2,918 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිදු විය. 2022 කණ්ඩායමට අදාළ මෙම පිරිස දිවයින පුරා පිහිටි හෙද විදුහල් 15ක වසර තුනක පුහුණුව සඳහා අනුයුක්ත කර ඇති අතර, ඔවුන් ලබන අප්‍රේල් 06 වනදා සිට සිය පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතය.
පත්වීම් ප්‍රදානයෙන් අනතුරුව අදහස් දැක්වූ අමාත්‍යවරයා අවධාරණය කළේ, මහජන ආරක්ෂක පනත යටතේ ගැසට් මගින් ප්‍රකාශ කළත් නොකළත් සෞඛ්‍ය යනු සැමවිටම අත්‍යවශ්‍ය සේවාවක් බවයි. එය හුදු රැකියාවකට වඩා එහා ගිය මානුෂීය සේවාවක් බව පෙන්වා දුන් ඔහු, සෞඛ්‍ය සේවය කඩාකප්පල් වුවහොත් එය සමස්ත රටටම බලපාන බව ද ප්‍රකාශ කළේය. දැනට මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලක්ෂ එකහමාරක බලඇණියක් සිටින බවත්, ඉන් 43,553ක්ම (30%) හෙද හෙදියන් බවත් පැවසූ අමාත්‍යවරයා, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව එම ප්‍රමාණය තවදුරටත් ඉහළ නැංවිය යුතු බව ද සඳහන් කළේය.
මෙම නවක කණ්ඩායම 2029 ජුනි මාසය වන විට ස්ථිර සේවයට බඳවා ගැනීමට සැලසුම් කර ඇති අතර, ඊට අමතරව දැනට පුහුණුව ලබන තවත් කණ්ඩායම් කිහිපයක් මෙ වසරේ ඔක්තෝම්බර් මාසය වන විට සේවයට එක් කර ගැනීමට නියමිතය. රෝගීන්ට ප්‍රශස්ථ සේවාවක් ලබා දීම මෙන්ම පුරවැසියාගේ නිරෝගී ජීවිත කාලය දිගු කිරීම රජයේ අරමුණ බවත්, මෙම පිරිස පුහුණුව අවසන් කරන විට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල ව්‍යුහාත්මක වෙනසක් සිදු කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














