අද (15) පෙරවරුවේ සිට නැවත වරක් ඉන්ධන සීමා කිරීම් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගැනීමත් සමඟ, අලුතින් වාහන මිලදී ගත් පාරිභෝගිකයන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටිති. දැනටමත් ඉන්ධන කේත (QR Code) පද්ධතියේ ලියාපදිංචි වී සිටින පුද්ගලයන්ට එම පද්ධතිය හරහා නියමිත කෝටාව ලබාගැනීමේ හැකියාව පැවතියද, අලුතින් වාහනයක් මිලදී ගෙන පද්ධතියට ලියාපදිංචි වීමට උත්සාහ කරන පිරිස්වලට එම අවස්ථාව මෙතෙක් විවෘත වී නොමැති වීම මෙයට ප්‍රධාන හේතුවයි.
විශේෂයෙන්ම වාහන හිමිකාරීත්වය මාරු වූ අවස්ථාවලදී සහ පැරණි ගිණුම්වල දුරකථන අංක වෙනස් වී ඇති පුද්ගලයන්ට සිය තොරතුරු යාවත්කාලීන කරගැනීමට පද්ධතිය තුළ ඉඩකඩක් නොමැති වීමෙන් ඉන්ධන ලබාගැනීමේදී දැඩි බාධා මතු වී තිබේ. පවතින ඉන්ධන හිඟය හමුවේ මෙම තාක්ෂණික ගැටලු හේතුවෙන් අලුත් වාහන හිමිකරුවන් ඉන්ධන පිරවුම්හල් අසල අසරණ වී සිටින අතර, මේ පිළිබඳව බලධාරීන් මෙතෙක් නිසි විසඳුමක් ඉදිරිපත් කර නොමැති බව ද වාර්තා වේ.














