මෙවර අලුත් අවුරුදු චාරිත්‍ර සඳහා ජනාධිපති ආර්යාව එක්වන බවට තොරතුරු ලැබී ඇති බවත්, එය ඉතිහාසයේ සිට පැවත එන ඉතා යහපත් සම්ප්‍රදායක් බවත් නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සැලේ මහතා අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් මහරගමදී සංවිධානය කළ “අත්සන් ලක්ෂයේ ජනතා පෙත්සමට” එක්වෙමිනි. රජය විසින් සුරේෂ් සැලේ මහතා අනීතික ලෙස අත්අඩංගුවට ගෙන ඇති බවත්, එම තීරණය හුදෙක් අප්‍රේල් 21 වනදාට පෙර කතෝලික ජනතාව සතුටු කිරීම සඳහා දියත් කළ දේශපාලන මෙහෙයුමක් බවත් ඔහු මෙහිදී විවේචනය කර සිටියේය.
වසර හතක් පුරා සිදු කළ කිසිදු පරීක්ෂණයකින් හෝ විදේශීය වාර්තාවකින් සැලේ මහතා වැරදිකරුවකු වී නැති පසුබිමක ඔහුව හදිසියේම පාස්කු ප්‍රහාරයේ “මහ මොළකරු” ලෙස නම් කිරීම හාස්‍යයට කරුණක් බව බණ්ඩාර මහතා පෙන්වා දෙයි. වත්මන් පාලනය පොලිස් අමාත්‍යාංශය මත පමණක් රඳා පවතින බවත්, රවි සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන මහත්වරුන්ගේ මඟපෙන්වීම මත රණවිරුවන් දඩයම් කිරීම සිදු වන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. සුරේෂ් සැලේ වැනි බුද්ධි නිලධාරීන් දඩයම් කිරීමෙන් වඩාත්ම සතුටු වන්නේ එල්.ටී.ටී.ඊ හිතවාදීන් බව පවසන ඔහු, මෙම පෙත්සම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර අදාළ අනීතික ක්‍රියාමාර්ග නතර කරන ලෙස බලකර සිටින බව ද සඳහන් කළේය.














