අතීතයේ ක්‍රියාත්මක වූ ජනසවිය සහ සමෘද්ධි වැනි සහනාධාර වැඩසටහන්වල පරමාර්ථ යහපත් වුවද, ජනතාව සැබෑ ලෙසම සවිබල ගැන්වීමට හෝ දිළිඳුකම මුලිනුපුටා දැමීමට ඒවා සමත් වී නොමැති බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පවසයි. පුත්තලම, මාදම්පේ ප්‍රදේශයේ පැවති ‘ප්‍රජා ශක්ති’ ජාතික ව්‍යාපාරයේ දිස්ත්‍රික් දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය. දරිද්‍රතාවය පිටුදැකීම සඳහා ක්‍රියාත්මක වන අවසාන සංවර්ධන වැඩසටහන මෙය විය යුතු බවත්, අනාගත පරපුර වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය අනිවාර්යයෙන්ම සාර්ථක කරගත යුතු බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන ‘ප්‍රජා ශක්ති’ ව්‍යාපාරය හුදු සහනාධාර ක්‍රමයකින් ඔබ්බට ගොස් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම පදනම් කරගත් වැඩපිළිවෙළකි. සම්පත්වලින් පොහොසත් පුත්තලම වැනි දිස්ත්‍රික්කවල පවා ජනතාවගේ ජීවන තත්ත්වය තවමත් සතුටුදායක නොවන බවත්, එම තත්ත්වය වෙනස් කිරීම රජයේ ප්‍රමුඛතම ඉලක්කය බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 2025 වසර සඳහා රජය ඉදිරිපත් කර ඇති ‘ක්ලීන් ශ්‍රී ලංකා’, ඩිජිටල්කරණය සහ දරිද්‍රතාවය තුරන් කිරීම යන ප්‍රධාන වැඩසටහන් ත්‍රිත්වය යටතේ ජනතාව ඉල්ලා සිටි සැබෑ ‘ක්‍රම වෙනස’ (System Change) ඇති කිරීමට නම් ආර්ථිකය ග්‍රාමීය මට්ටමින් ශක්තිමත් කළ යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














