ඉරානයට අයත් ඛාර්ග් දූපතේ තෙල් පර්යන්තය ඉලක්ක කර අමෙරිකාව එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) තුළ පිහිටි අමෙරිකානු මධ්‍යස්ථාන සියල්ල “නීත්‍යානුකූල ඉලක්ක” ලෙස සලකා ප්‍රහාර එල්ල කරන බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) නිවේදනය කර ඇත. තම රටේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මෙම පියවර ගන්නා බවත්, අමෙරිකානු මිසයිල පද්ධති සහ හමුදා මෙහෙයුම් සඳහා සහය දෙන එමීර් රාජ්‍යයේ ස්ථාන වෙත දැඩි ප්‍රහාර එල්ල කරන බවත් ඔවුන් අවධාරණය කර සිටියි.
ඉරාන ආරක්ෂක අංශ පෙන්වා දෙන පරිදි, මෙම ප්‍රහාරක ලැයිස්තුවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධාන නගරවල පිහිටි ප්‍රධාන වරායවල්, භාණ්ඩ ප්‍රවාහන අංගන, ගුවන් තොටුපළවල් සහ අමෙරිකානු හමුදා නිලධාරීන් රැඳී සිටින මධ්‍යස්ථාන ඇතුළත් වේ. සිදුවිය හැකි සිවිල් ජීවිත හානි වළක්වා ගැනීම සඳහා, එමීර් රාජ්‍යයේ වරායවල් සහ අමෙරිකානු කඳවුරු ආසන්නයේ වෙසෙන සිවිල් වැසියන්ට වහාම එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ඉරානය නිල වශයෙන් දැනුම් දී තිබේ.
මෙම තත්ත්වය හේතුවෙන් මැදපෙරදිග කලාපයේ යුදමය නොසන්සුන්තාව උපරිම මට්ටමකට පැමිණ ඇති අතර, ගෝලීය තෙල් සැපයුමට සහ නාවික ගමන් මාර්ගවලට මෙයින් දැඩි බලපෑමක් එල්ල වීමේ අවදානමක් පවතී. ඉරානය පවසන්නේ අමෙරිකාව සිය හමුදා ක්‍රියාමාර්ග නතර නොකරන්නේ නම් මෙම ප්‍රහාර තවදුරටත් දැඩි කරන බවයි.














