ඉන්ධන ලබාගැනීම සඳහා හඳුන්වා දී ඇති QR කේත පද්ධතිය සම්බන්ධයෙන් පාරිභෝගිකයන් මුහුණ දී ඇති තාක්ෂණික ගැටලු කඩිනමින් නිරාකරණය කිරීමට පියවර ගනිමින් සිටින බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරයි. මීට පෙර QR කේතය ලබාගෙන, දැනටත් එම වාහනය සහ දුරකථන අංකයම භාවිතා කරන පුද්ගලයන්ට කිසිදු බාධාවකින් තොරව නව කේතය යාවත්කාලීන කරගත හැකි බව රජය අවධාරණය කරයි.
කෙසේ වෙතත්, වාහන හිමිකාරීත්වය මාරු වූ හෝ දුරකථන අංක වෙනස් වී ඇති පිරිස් මෙන්ම අලුතින් වාහන මිලදී ගත් පුද්ගලයන් මුහුණ දෙන ගැටලු හඳුනාගෙන ඒවාට හැකි ඉක්මනින් විසඳුම් ලබාදීමට මේ වන විටත් කටයුතු කරමින් පවතී. මීට අමතරව, අත්‍යවශ්‍ය සේවා සහ කෘෂිකාර්මික කටයුතු සඳහා ඉන්ධන සැපයීම වැනි විශේෂිත අවශ්‍යතා සම්බන්ධයෙන් අද (15) පස්වරුවේ තීරණයක් ගෙන, අද දිනය තුළම එම ගැටලු නිරාකරණය කිරීමට බලාපොරොත්තු වන බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.














