ප්‍රංශ නාවික හමුදාව විසින් මැදපෙරදිග කලාපය වෙත යුද නැව් 10ක් යොදවා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි. X සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රංශය අවධාරණය කර ඇත්තේ, තම ගුවන් යානා වාහක ප්‍රහාරක කණ්ඩායම දැනට ස්ථානගතව ඇත්තේ නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ පමණක් බවයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘතව තබා ගැනීම සඳහා සහය වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මිත්‍ර පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කර ඇති පසුබිමක ප්‍රංශය මෙම පැහැදිලි කිරීම සිදු කිරීම විශේෂත්වයකි. කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය වෙනුවෙන් පෙනී සිටින තම රටේ ස්ථාවරය නොවෙනස්ව පවතින බව ද ප්‍රංශ බලධාරීන් වැඩිදුරටත් සඳහන් කර සිටියි.














