ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේදී ඉරාන නෞකාවක් ගිල්වා දැමීමේ සිද්ධිය ඉන්දීය සාගර කලාපයේ ස්ථාවරත්වයට බරපතළ තර්ජනයක් බවත්, මේ සම්බන්ධයෙන් කලාපීය රටවල් අතර කඩිනම් සංවාදයක් අවශ්‍ය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. නවදිල්ලියේ පැවැති “India Today Conclave 2026” සමුළුව අමතමින් ඔහු කියා සිටියේ, අන්තර්ජාතික වෙළඳාම සඳහා ආරක්ෂිත කලාපයක් ලෙස සැලකෙන ඉන්දීය සාගරය තුළ විදේශීය නෞකාවකට ප්‍රහාර එල්ල කිරීම භයානක පූර්වාදර්ශයක් බවයි. “The Indian Ocean Faultline” මැයෙන් පැවති මෙම සාකච්ඡාවේදී ඔහු අවධාරණය කළේ, සිය මුහුදු සීමාව ආසන්නයේ සිදුවූ මෙම විනාශය පිළිබඳව පැහැදිලි කිරීමක් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකාවට ස්වෛරී අයිතියක් ඇති බවයි.බටහිර ආසියානු ගැටුම් මධ්‍යයේ ඉරානයට අයත් ‘Iris Dena’ නෞකාව ගිල්වා දැමීමෙන් ඉරාන ජාතිකයන් 80කට අධික පිරිසක් මියගොස් ඇති අතර, දිවි ගලවා ගත් පිරිස ගාල්ල සහ කොළඹ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති. මෙවැනි ගැටුම්කාරී තත්ත්වයන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට, විශේෂයෙන්ම ඉන්ධන ආනයනයට, විදේශ ප්‍රේෂණවලට සහ තේ අපනයනයට දැඩි ලෙස බලපාන බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම, දිවි ගලවා ගත් පිරිස ඉරානයට භාර නොදෙන ලෙස අමෙරිකාව කළ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ, වෙනත් රටවලට ඉල්ලීම් කළ හැකි වුවද ශ්‍රී ලංකාව තීරණ ගත යුත්තේ සිය මානුෂීය වගකීම් සහ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය මත පදනම්ව බවයි.
ඉන්දීය සාගරයේ ආරක්ෂාව වෙනුවෙන් ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින වැනි රටවල් “කොළඹ ආරක්ෂක සමුළුව” (Colombo Security Conclave) හරහා ඒකාබද්ධව කටයුතු කළ යුතු බවද රාජපක්ෂ මහතා මෙහිදී යෝජනා කළේය. චීන බලපෑම් පිළිබඳ පවතින කනස්සල්ල ප්‍රතික්ෂේප කරමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාව කිසිදු විදේශීය හමුදා කඳවුරකට ඉඩ නොදෙන බවයි. සාකච්ඡාව අවසානයේ සැහැල්ලු අදහසක් එක් කරමින් ඔහු පැවසුවේ ඉන්දීය නළු විජේ සිය ප්‍රියතම නළුවා බවත්, අභිෂේක් ෂර්මා සහ සංජු සැම්සන් තමා අගය කරන ක්‍රිකට් ක්‍රීඩකයන් බවත්ය.














