මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ ගෝලීය නැව් ගමනාගමනයට එල්ල වී ඇති බාධා සලකා බලා, මෙරට ගෑස් සැපයුම ස්ථාවරව පවත්වා ගැනීම සඳහා ලිට්‍රෝ (Litro) සහ ලාෆ්ස් (LAUGFS) යන සමාගම් දෙක අතර විශේෂ තාවකාලික එකඟතාවක් ඇති කරගෙන තිබේ. මාස තුනක කාලයක් සඳහා වලංගු වන මෙම අවබෝධතා ගිවිසුම අනුව, ලාෆ්ස් සමාගමට අයත් හම්බන්තොට පර්යන්තයේ ගබඩා ධාරිතාවයෙන් මෙට්‍රික් ටොන් 15,000ක ප්‍රමාණයක් භාවිතා කිරීමට රජයට අයත් ලිට්‍රෝ සමාගමට අවස්ථාව හිමිවේ.
මෙම පියවර මගින් මෙරට අමතර ගෑස් සංචිතයක් (Buffer Stocks) පවත්වා ගැනීමට හැකි වන බව ලිට්‍රෝ සභාපති චන්න ගුණවර්ධන මහතා තහවුරු කරයි. මීට අමතරව, ලාෆ්ස් සමාගම සිය අපනයන කෝටාවෙන් 20%කට වඩා වැඩි ප්‍රමාණයක් දේශීය වෙළඳපොළට යොමු කිරීමට ද රජය තාවකාලිකව අවසර දී ඇත. දැනට ශ්‍රී ලංකාවේ ගෑස් අවශ්‍යතාවයෙන් 81%ක් පමණ ඇමෙරිකාවෙන් ආනයනය කරන අතර, එළඹෙන අඟහරුවාදා (17) වන විට තවත් ගෑස් නෞකාවක් මෙරටට ළඟා වීමට නියමිත බැවින් දැනට පවතින සැපයුම බාධාවකින් තොරව පවත්වා ගත හැකි වනු ඇතැයි බලධාරීන් විශ්වාසය පළ කරයි.














