ඉරානයට එරෙහිව දියත් කර ඇති යුද මෙහෙයුම් තමන් අපේක්ෂා කරන මට්ටමට සාර්ථක වූ පසු එය අවසන් කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ෆොක්ස් නිවුස් නාලිකාව සමඟ පැවැති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ, අමෙරිකානු ප්‍රහාරවලින් ඉරාන උත්තරීතර නායකයාට හානි සිදුව ඇති බවත්, ඔහු යම් ආකාරයකින් තවමත් ජීවතුන් අතර සිටින බව තමන් විශ්වාස කරන බවත්ය. ඉදිරි සතිය තුළ ඉරානයට ඉතා ප්‍රබල ප්‍රහාර එල්ල කරන බවට අනතුරු ඇඟවූ ජනාධිපතිවරයා, දැනටමත් එල්ල කර ඇති ප්‍රහාර හමුවේ ඉරානයේ යටිතල පහසුකම් යළි ගොඩනැගීමට වසර ගණනාවක් ගතවනු ඇති බව ද අවධාරණය කළේය.
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් නැව් ප්‍රවාහනය කිරීමට අමෙරිකාව ඕනෑම මොහොතක සූදානම් බව පැවසූ ට්‍රම්ප්, ඉදිරියේදී සියල්ල යහපත් අතට හැරෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද කියා සිටියේය. “අපි බලමු මොකද වෙන්නේ කියලා” යනුවෙන් පවසමින් ඔහු ඉඟි කළේ ඉරානය සම්බන්ධයෙන් අමෙරිකාව සතු යුද සැලසුම් තවදුරටත් ක්‍රියාත්මක වන බවයි.














