ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) අවධාරණය කර ඇත්තේ මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම් අතරතුර ඉරානය කිසිදු අවස්ථාවක සිවිල් වැසියන් හෝ නේවාසික ප්‍රදේශ ඉලක්ක කර ප්‍රහාර එල්ල නොකළ බවයි. අල්ජසීරා පුවත් සේවයට අනුව, සිවිල් ප්‍රහාර සම්බන්ධයෙන් එල්ල වන චෝදනා විමර්ශනය කර එහි සැබෑ වගකීම කාහටදැයි හඳුනා ගැනීම සඳහා අසල්වැසි රටවල් සමඟ එක්ව ඒකාබද්ධ කමිටුවක් පිහිටුවීමට ටෙහෙරානය සූදානම් බව ඔහු ප්‍රකාශ කර තිබේ.
ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය ගෙන යන යුද ක්‍රියාවලිය නැවැත්වීමට හැකි ඕනෑම රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් සාදරයෙන් පිළිගන්නා බවත්, ඉරානය මේ වන විටත් ගල්ෆ් කලාපයේ රටවල් සමඟ අඛණ්ඩ සන්නිවේදනයක් පවත්වන බවත් විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ වෙතත්, ගල්ෆ් කලාපයේ රටවල් ඉරානයට පෙන්වා දෙන්නේ ඉරානය විසින් අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ ද, එම ප්‍රහාරවලින් තමන්ගේ බලශක්ති පද්ධතිවලට සහ නේවාසික ප්‍රදේශවලට දැඩි හානි සිදුව ඇති බවයි. මේ හේතුවෙන් තම භූමියට එල්ල කරන ප්‍රහාර වහාම නතර කරන ලෙස එම රටවල් ඉරානයෙන් ඉල්ලා සිටියි.














