අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) මුහුණ දී සිටි දැඩි සේවක හිඟයට විසඳුම් දෙමින්, නව නිලධාරීන් 971 දෙනෙකු බඳවා ගැනීමේ බාධා ඉවත් කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පියවර ගෙන තිබේ. මෙතෙක් කල් භාණ්ඩාගාරය සහ කොමිසම අතර පැවැති නීතිමය ගැටලුව නිරාකරණය කරමින්, කොමිෂන් සභාවේ පත්වීම් සම්බන්ධයෙන් ස්වාධීනව තීරණ ගැනීමට පවතින බලය නීතිපතිවරයා විසින් තහවුරු කර ඇත.
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පැවැති මෙම රැස්වීමේදී අනාවරණය වූයේ, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ කොමිෂන් සභාවට තමන්ගේම සේවක මණ්ඩලයක් පත් කර ගැනීමට පූර්ණ ස්වාධීනත්වය හිමි වන බවයි. මෙම තීරණයත් සමඟ කොළඹට පමණක් සීමා වී ඇති අල්ලස් කොමිසමේ කටයුතු පළාත් 9 ම ආවරණය වන පරිදි විමධ්‍යගත කිරීමටත්, ඉදිරියේදී දිස්ත්‍රික් 25 පුරාම කාර්යාල පිහිටුවීමටත් මග පෑදෙනු ඇත.
මෙම නව බඳවා ගැනීම් යටතේ විමර්ශන සහ නීති අංශ සඳහා විශේෂඥ දැනුම සහිත නිලධාරීන් බඳවා ගැනීමට නියමිත අතර, ඔවුන් සඳහා ආකර්ෂණීය වැටුප් ව්‍යුහයක් සකස් කිරීම පිළිබඳව ද අවධානය යොමු වී තිබේ. මධ්‍යම බැංකුව වැනි ස්වාධීන ආයතනවල මෙන් දේශපාලනයෙන් තොර වූ සාධාරණ වැටුප් ක්‍රමයක් හරහා දක්ෂ වෘත්තිකයන් දූෂණ විරෝධී මෙහෙයුම් සඳහා දායක කර ගැනීමට කටයුතු කරන බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී අවධාරණය කළේය.













