ප්‍රංශ යටත් විජිත පාලකයන් විසින් වසර සියයකට පෙර කොල්ලකන ලද අතිශය වැදගත් සංස්කෘතික උරුමයක් වන ‘Djidji Ayôkwé’ නම් පූජනීය කතා කරන බෙරය (Talking Drum), 2026 මාර්තු 13 වන සිකුරාදා දින යළි කොට් ඩි අයිවරි රාජ්‍යය වෙත භාර දෙන ලදී. කිලෝග්‍රෑම් 430ක් බරැති සහ මීටර් 4ක් දිගැති මෙම සුවිශේෂී බෙරය 1916 වසරේදී ප්‍රංශ පරිපාලකයින් විසින් බලහත්කාරයෙන් රැගෙන ගොස් තිබුණේ එරට එබ්‍රි (Ebrié) ගෝත්‍රිකයන් යටත් විජිත පාලනයට එරෙහිව දැක්වූ විරෝධයට දඬුවමක් වශයෙනි.
මෙම ඓතිහාසික උරුමය අබිජාන් (Abidjan) නුවර පෝට් බූට් ගුවන් තොටුපළ වෙත ළඟා වූ අවස්ථාවේදී සාම්ප්‍රදායික නර්තන කණ්ඩායම් සහ ගෝත්‍රික නායකයන් විසින් එය උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. එබ්‍රි ජනතාවගේ සංස්කෘතික අනන්‍යතාවය සහ ප්‍රතිරෝධයේ සංකේතයක් වන මෙම බෙරය, අතීතයේදී ගම්මාන අතර පණිවුඩ හුවමාරු කිරීමටත්, අනතුරු ඇඟවීම් නිකුත් කිරීමටත් භාවිතා කර ඇත. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් 2021 වසරේදී මෙය යළි ලබා දීමට පොරොන්දු වූ අතර, වසර හතරක සාකච්ඡා සහ ප්‍රංශ පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් පසු එය යථාර්ථයක් බවට පත් විය.
කොට් ඩි අයිවරි සංස්කෘතික අමාත්‍ය ෆ්‍රැන්ෂුවා රෙමාර්ක් මෙම දිනය “ඓතිහාසික සහ යුක්තිය ඉටු වූ දිනයක්” ලෙස හැඳින්වූවාය. යුනෙස්කෝ (UNESCO) සංවිධානය ද මෙම බෙරය මහජන ප්‍රදර්ශනය සඳහා තැන්පත් කෙරෙන කෞතුකාගාරයේ පර්යේෂණ කටයුතු වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 100,000ක ආධාරයක් ලබා දී තිබේ. අප්‍රේල් මාසයේදී විශේෂ උත්සවයකින් පසු මෙය අබිජාන් හි ශිෂ්ටාචාර කෞතුකාගාරයේ ස්ථිරව තැන්පත් කිරීමට නියමිත අතර, තවත් සංස්කෘතික භාණ්ඩ අටක් යළි ලබා ගැනීම සඳහා දැනටමත් සාකච්ඡා ආරම්භ වී ඇත.














