කියුබාවේ මොරොන් (Moron) නගරයේ පිහිටි පාලක කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රාදේශීය කාර්යාලයකට කඩා වැදී අලාභහානි සිදුකිරීමේ චෝදනාව මත පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සාමකාමීව ඇරඹි විරෝධතාවයක් පසුව ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගෙන ඇති අතර, විරෝධතාකරුවන් එහි තිබූ පරිගණක, ලේඛන සහ ගෘහ භාණ්ඩ මහමගට දමා ගිනිතබා ඇති බව වාර්තා වේ. පක්ෂ කාර්යාලයට අමතරව අසල පිහිටි ඖෂධ සැලකට සහ තවත් වෙළඳසැලකට ද මෙමඟින් හානි සිදුවී ඇත.
කියුබාව තුළ මෙවැනි විරෝධතා වාර්තා වීම දුර්ලභ සිදුවීමක් වුවද, පවතින උග්‍ර ආහාර, ඖෂධ හිඟය සහ දිනකට පැය 15ක් දක්වා ඇදෙන විදුලි කප්පාදුව හේතුවෙන් ජනතාව දැඩි පීඩනයකට පත්ව සිටිති. මෙයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කියුබාවට එරෙහිව පනවා ඇති දැඩි තෙල් සම්බාධකයි. කියුබාවේ ප්‍රධානතම මිත්‍ර රාජ්‍යයක් වූ වෙනිසියුලාවේ නිකොලස් මදුරෝ පාලනය බිඳවැටීමෙන් පසු, එරටින් ලැබුණු තෙල් සැපයුම අමෙරිකාව විසින් සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබේ.
කියුබානු ජනාධිපති මිගෙල් ඩයස්-කැනෙල් (Miguel Díaz-Canel) ප්‍රකාශ කළේ පසුගිය මාස තුන තුළ කියුබාවට කිසිදු ඉන්ධන නැව්ගත කිරීමක් සිදු නොවූ බවයි. මේ හේතුවෙන් එරට ආර්ථිකය දැඩි අර්බුදයකට ලක්ව ඇති අතර, ස්වාභාවික වායු සහ සූර්ය බලශක්තිය වැනි විකල්ප මඟින් රට පවත්වාගෙන යාමට උත්සාහ කරන බව ඔහු සඳහන් කළේය. කියුබානු පාලන තන්ත්‍රය වෙනස් කිරීම තම මීළඟ ඉලක්කය බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති පසුබිමක, කියුබානු රජය පළමු වරට අමෙරිකාව සමඟ සාකච්ඡා පවත්වන බව ද තහවුරු කර ඇත.














