දකුණු ඇමරිකාවේ වඩාත්ම අවශ්‍ය කරන අපරාධකරුවෙකු ලෙස සැලකෙන උරුගුවේ ජාතික සෙබස්තියන් මාර්සෙට් (Sebastián Marset) බොලිවියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ. 34 හැවිරිදි ඔහු දකුණු ඇමරිකාවේ සිට යුරෝපය වෙත ටොන් ගණනින් කොකේන් ප්‍රවාහනය කිරීමේ ජාලයක් මෙහෙයවූ අයෙකු ලෙස සැලකේ. 2022 වසරේ කොලොම්බියාවේ වෙරළ තීරයක සිය මධුසමය ගත කරමින් සිටියදී වෙඩි තබා ඝාතනය කරන ලද පැරගුවේ රජයේ නීතිඥ මාර්සෙලෝ පෙචිගේ (Marcelo Pecci) මරණය පිටුපස සිටින ප්‍රධාන සැලසුම්කරු ලෙස ද මොහුට චෝදනා එල්ල වී ඇත.
අමෙරිකානු බැංකු හරහා මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනාව මත වොෂින්ටනයට ද අවශ්‍යව සිටි මාර්සෙට්, මේ වන විටත් අමෙරිකාව වෙත පිටුවහල් කිරීමට (Extradition) පියවර ගෙන ඇති බව බොලිවියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මාර්කෝ ඇන්ටෝනියෝ ඔවියෙඩෝ තහවුරු කළේය. “දකුණේ රජු” (King of the South) ලෙස තමන්වම හඳුන්වාගත් ඔහු, සිය කොකේන් පාර්සල් මත එම නාමය සටහන් කර තිබීම විශේෂත්වයකි. මෙම අත්අඩංගුවට ගැනීම බොලිවියාව සහ අමෙරිකාව අතර වසර 20කට පසු යළි ගොඩනැගුණු නීතිය ක්‍රියාත්මක කිරීමේ සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් ලෙස ද සැලකේ.
මාර්සෙට්ගේ අපරාධ ජීවිතය ව්‍යාජ අනන්‍යතාවලින් පිරී තිබුණකි. ඔහු බොලිවියාවේ සැඟවී සිටියදී දෙවන පෙළ පාපන්දු කණ්ඩායමක් මිලදී ගෙන, එහි ක්‍රීඩකයෙකු ලෙස දේශීය රූපවාහිනී තරඟවලට පවා පෙනී සිටිමින් බලධාරීන් මුළා කර තිබුණි. 2023 වසරේදී ඔහුගේ මන්දිරය වැටලීමට පෙර ඔහු එතැනින් පලා ගිය අතර, වරින් වර වීඩියෝ දර්ශන නිකුත් කරමින් බලධාරීන්ට සමච්චල් කිරීමට ද ඔහු කටයුතු කළේය. අවසානයේදී බොලිවියානු පොලිසිය ඔහුව සොයාගනු ලැබුවේ මීට වසර දෙකකට පෙර ඔහු පලාගිය සන්ටා කෲස් (Santa Cruz) නගරයේදීම වීම විශේෂත්වයකි.














