මහජන මුදල් වැය කරමින් නිල විදේශ සංචාර මුවාවෙන් අතීතයේ ඇතැම් මැති ඇමතිවරු සාප්පු සවාරි ගිය බවත්, වත්මන් රජයේ නියෝජිතයන් එවැනි අදූරදර්ශී ක්‍රියාවලින් බැහැරව කටයුතු කරනු ඇතැයි තමා විශ්වාස කරන බවත් ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය කටුගස්තොට උපරතන හිමිපාණන් වහන්සේ අවධාරණය කළහ. මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති හිමියන් මේ බව කියා සිටියේ ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා උන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදීය.
වොෂින්ටන් නුවර ලෝක බැංකු මූලස්ථානයේ පැවති “Transforming Transportation 2026” වාර්ෂික සමුළුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයා එක්සත් ජනපදයට පැමිණ සිටී. එහිදී අදහස් දැක්වූ උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්නේ, ඇමරිකාව වැනි රටවල් ප්‍රවාහන ක්ෂේත්‍රය ලාභය මතම පදනම් නොවී මහජන සේවාවක් ලෙස පවත්වාගෙන යන බවයි. ශ්‍රී ලංකාවට ද එවැනි දියුණු ක්‍රමවේද හඳුන්වා දීම සඳහා ජාත්‍යන්තර අත්දැකීම් භාවිත කිරීමේ වැදගත්කම උන්වහන්සේ මෙහිදී අවධාරණය කළහ.
මෙම සිව් දින වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය නවීකරණය කිරීමට සහ ශක්තිමත් කිරීමට අපේක්ෂිත ක්‍රමෝපායන් පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මෙහිදී නායක හිමිපාණන් වහන්සේව දැනුවත් කරනු ලැබීය.














