එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා (Fujairah) තෙල් කර්මාන්ත කලාපයට අද (සඳුදා) එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් මහා පරිමාණ ගින්නක් හටගෙන ඇති බව එරට නිලධාරීන් තහවුරු කරයි. ෆුජයිරා මාධ්‍ය ඒකකය සඳහන් කළේ ඩ්‍රෝන යානයක් මඟින් තෙල් ගබඩා සංකීර්ණයක් ඉලක්ක කර ඇති බවත්, එමඟින් හටගත් “දරුණු” ගින්න පාලනය කිරීමට සිවිල් ආරක්ෂක කණ්ඩායම් මේ වන විටත් දැඩි උත්සාහයක නිරත වන බවත්ය. වාසනාවකට මෙන් මෙම සිදුවීමෙන් මෙතෙක් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැත.
ෆුජයිරා තෙල් කර්මාන්ත කලාපය යනු මැදපෙරදිග කලාපයේ පිරිපහදු කළ තෙල් නිෂ්පාදන සඳහා වන විශාලතම වාණිජ ගබඩා ධාරිතාවය සහිත මධ්‍යස්ථානයයි. විශේෂයෙන්ම වර්තමානය වන විට ඉරාන යුද්ධය හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම පාහේ වැසී පවතින පසුබිමක, එම සන්ධියට පිටතින් පිහිටි මෙම පර්යන්තය ගෝලීය තෙල් වෙළඳාම සඳහා අතිශය තීරණාත්මක මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරයි.
බ්ලූම්බර්ග් (Bloomberg) පුවත් සේවය වාර්තා කළේ පසුගිය සෙනසුරාදා ද මෙවැනිම ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වූ අතර, ඉන් පසුව යළිත් ආරම්භ කළ තෙල් පටවන මෙහෙයුම්වලට මෙම නව ප්‍රහාරයත් සමඟ යළිත් බාධා එල්ල වී ඇති බවයි. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ තෙල් සැපයුම් ජාලයන් ඉලක්ක කර ගනිමින් එල්ල වන මෙම ප්‍රහාර ගෝලීය බලශක්ති අර්බුදය තවදුරටත් උග්‍ර කිරීමට හේතු වී තිබේ.














