මැදපෙරදිග කලාපයේ විශේෂයෙන්ම ඊශ්‍රායලය සහ අමෙරිකාව එක්ව ඉරානය වෙත එල්ල කරන ප්‍රහාර සහ හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ගෝලීය ආහාර අර්බුදයක් ඇතිවීමේ අවදානම ඉහළ ගොස් තිබේ. මෙම යුදමය තත්ත්වය නිසා ඉන්ධන මිල ඉහළ යාම සහ නාවික ප්‍රවාහන මාර්ග අවහිර වීම ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ දාමයට සෘජුවම බලපාන ප්‍රධාන සාධක බවට පත්ව ඇත. ඉන්ධන සහ බලශක්ති මිල ඉහළ යාම නිසා ගොවිතැන් කටයුතුවල පිරිවැය සහ ප්‍රවාහන ගාස්තු ඉහළ යන අතර එය වෙළඳපොළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාමට හේතු වේ. මීට අමතරව ගෝලීය වෙළඳාමට අත්‍යවශ්‍ය නාවික මාර්ග අවහිර වීමෙන් ආනයනික ආහාර ද්‍රව්‍ය රටවල් වෙත ළඟා වීම ප්‍රමාද වීම ද ආහාර හිඟයක් ඇතිවීමට බලපෑ හැකි තවත් ප්‍රබල කරුණකි. බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් පවා පසුගියදා අවධාරණය කළේ යුද්ධය දිග්ගැස්සීම ලෝකවාසී ජනතාවගේ ජීවන වියදම ඉහළ යාමට සහ ආහාර සුරක්ෂිතතාවයට දැඩි තර්ජනයක් බවයි.
මෙම අවදානම් තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව වැනි රටවල් ආහාර සුරක්ෂිතතාව තහවුරු කර ගැනීම සඳහා පියවර කිහිපයක් කෙරෙහි අවධානය යොමු කර තිබේ. විදේශයන්ගෙන් ආනයනය කරන ආහාර ද්‍රව්‍ය මත යැපීම අවම කර දේශීය කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීමට රජය සැලසුම් කර ඇති අතර අද රාජගිරියේදී ඇරඹි “සපිරි ගමක්” වැනි ව්‍යාපෘති මඟින් බිම් මට්ටමේ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමට උත්සාහ කරන්නේ මෙවැනි ගෝලීය අර්බුදවලට මුහුණ දීම සඳහාය. එමෙන්ම අනවශ්‍ය ලෙස ආහාර නාස්ති කිරීම සීමා කිරීමටත් පවතින සම්පත් අරපිරිමැස්මෙන් භාවිතා කිරීමටත් ජනතාව දැනුවත් කිරීම මේ මොහොතේ අතිශය වැදගත් වේ. මීට අමතරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයක් ඇති නොවීම සඳහා රජය සහ පෞද්ගලික අංශය එක්ව අවශ්‍ය ආහාර සංචිත පවත්වාගෙන යාමට ද කටයුතු කරමින් සිටී.














