ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිමට පිටින් පැමිණෙන කිසිදු රියදුරෙකුට ඒ සඳහා අවස්ථාව ලබා නොදෙන ලෙස ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ පොලිස් නිලධාරීන් දැනුවත් කර ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මහතා පවසයි. අද (16) පස්වරුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ, ඇතැම් පිරිස් පෝලිම් උල්ලංඝනය කරමින් ඉන්ධන ලබාගැනීමට උත්සාහ කිරීම නිසා පිරවුම්හල් අසල අනවශ්‍ය කලබලකාරී තත්ත්වයන් නිර්මාණය වී ඇති බවයි.
පෝලිම්වල රැඳී සිටින ඇතැම් යතුරුපැදිකරුවන් පදික වේදිකා අවහිර වන සේ රථවාහන නවතා තැබීම හේතුවෙන් පදිකයින් දැඩි අපහසුතාවට පත්ව ඇති බවත්, එම තත්ත්වය පාලනය කිරීමට සියලුම පිරවුම්හල් අසල පොලිස් නිලධාරීන් යොදවා ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේය. පවතින දුෂ්කර තත්ත්වය හමුවේ පෝලිම්වල රැඳී සිටින සියලුම රියදුරන් ඉවසීමෙන් සහ සහයෝගයෙන් කටයුතු කළ යුතු බව ද ඒ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.














