මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය තත්ත්වය හමුවේ බ්‍රිතාන්‍යය ඉරානය සමඟ වන පුළුල් යුද්ධයකට මැදිහත් නොවන බව බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් (Keir Starmer) අවධාරණය කරයි. අද (16) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ අගමැතිවරයා සඳහන් කළේ, සියලු පාර්ශ්වයන් සමඟ එක්ව ලෝක බලශක්ති සැපයුමට තීරණාත්මක වන ‘හෝමූස් සමුද්‍ර සන්ධිය’ යළි විවෘත කිරීමට කටයුතු කරන නමුත් එය සරල කර්තව්‍යයක් නොවන බවයි.
ඉරානයට එල්ල කරන ප්‍රහාර සඳහා සහාය දක්වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් එල්ල වන බලපෑම් මධ්‍යයේ, අගමැති ස්ටාර්මර් පෙන්වා දුන්නේ බලශක්ති වෙළඳපොළ ස්ථාවර කිරීම සඳහා හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීම අත්‍යවශ්‍ය බවයි. මේ අතර, යුදමය තත්ත්වය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාම නිසා පීඩාවට පත් අඩු ආදායම්ලාභී බ්‍රිතාන්‍ය පවුල් සඳහා පවුම් මිලියන 53ක (ඇමරිකානු ඩොලර් මිලියන 70.3ක) මූල්‍ය සහන පැකේජයක් ද ඔහු ප්‍රකාශයට පත් කළේය.
ලෝකයේ බොරතෙල් සහ ද්‍රව ස්වභාවික වායු (LNG) සැපයුමෙන් පහෙන් එකක් පමණ ප්‍රවාහනය කෙරෙන හෝමූස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් පාලනය කිරීම බටහිර බලවතුන්ට විශාල අභියෝගයක් වී තිබේ. අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ යුරෝපීය හවුල්කරුවන් සමඟ එක්ව කලාපයේ නාවික නිදහස යළි ස්ථාපිත කිරීමට සහ ආර්ථික බලපෑම් අවම කිරීමට සාමූහික සැලැස්මක් සකස් කරමින් සිටින බවයි.














