වෘත්තීය ආචාර ධර්ම බරපතළ ලෙස උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු වූ කැකිරාව ප්‍රදේශයේ සේවය කළ නීතිඥවරියකගේ නීතිඥ භාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) තීන්දු කළේය. මීට අමතරව අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ද වරදකරු වූ ඇයට වසර පහකට අත්හිටවූ වසරක සිරදඬුවමක් සහ රුපියල් 25,000ක දඩයක් නියම විය. දඩය නොගෙවන්නේ නම් අමතර මාස හයක සිරදඬුවමක් ද නියම කිරීමට විනිසුරු මඩුල්ල පියවර ගෙන තිබේ.
මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිවය. 2023 ජූලි මස 27 වන දින කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු ගොනුවක පිටු දෙකක් ගලවා සපා කා හානි කිරීමේ චෝදනාව මත ඇයට එරෙහිව ප්‍රථමයෙන් චෝදනා ගොනු කර තිබුණි. එම විභාගය අවසන් වනතුරු ඇයට වෘත්තියේ යෙදීම වළක්වමින් පැනවූ අතුරු තහනම් නියෝගය නොතකා නැවත වෘත්තියේ නිරත වීම හේතුවෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ද ඇයට එරෙහිව ගොනු විය.
ආරම්භයේදී තමන් නිවැරදිකාරිය බව ප්‍රකාශ කළත්, පසුව ඇය විසින් අදාළ චෝදනාවලට වරද පිළිගනු ලැබීය. ඇගේ ක්‍රියාව නීතිඥ ආචාර ධර්ම පද්ධතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බව පෙන්වා දුන් ශ්‍රේෂ්ඨාධිකරණය, වහාම ඇගේ නම නීතිඥ නාමාවලියෙන් ඉවත් කරන ලෙස රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේය. මෙම තීරණය ශ්‍රී ලංකා නීතිඥ සංගමයට සහ කැකිරාව දිසා විනිසුරුවරයාට දැනුම් දෙන ලෙසත්, ඇඟිලි සලකුණු ලබාදීම සඳහා ඇය පොලිස් අපරාධ වාර්තා කොට්ඨාසය හමුවේ පෙනී සිටිය යුතු බවත් විනිසුරු මඩුල්ල වැඩිදුරටත් නියෝග කර තිබේ.














