ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධියේ (Hormuz Strait) නාවික ගමනාගමනය යළි ආරම්භ කිරීම සඳහා නේටෝ සංවිධානය මැදිහත් කර නොගන්නා බව බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් (Keir Starmer) අද (16) ප්‍රකාශ කළේය. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කළ අනතුරු ඇඟවීම් මධ්‍යයේ බ්‍රිතාන්‍යය මෙම තීරණය ගෙන තිබේ.
කලාපයේ නාවික නිදහස යළි ස්ථාපිත කිරීමට සහ ආර්ථික බලපෑම් අවම කිරීමට යුරෝපීය හවුල්කරුවන් සමඟ එක්ව සැලසුමක් සකස් කරන නමුත් බ්‍රිතාන්‍යය ඉරානය සමඟ පවතින පුළුල් ගැටුම්වලට සම්බන්ධ නොවන බව අගමැතිවරයා අවධාරණය කළේය. ජර්මනිය ද මෙහිදී සඳහන් කළේ මෙය නේටෝ සංවිධානයේ කාර්යයක් නොවන බවයි.
ජපානය සහ ඕස්ට්‍රේලියාව හෝමූස් සමුද්‍ර සන්ධිය වෙත සිය නාවික යුද නැව් එවීමට නොහැකි බව දැනටමත් තහවුරු කර ඇත. එසේම ග්‍රීසිය සහ ජර්මනිය ද මෙවැනි කිසිදු යුද මෙහෙයුමකට දායක නොවන බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
හෝමූස් සමුද්‍ර සන්ධිය යනු ලෝකයේ බලශක්ති සැපයුමට අතිශය තීරණාත්මක මාවතක් වන අතර එහි පවතින අවහිරතාවය මේ වන විට ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කරමින් පවතී.














