හැටන් සිංගිමලේ ජලාශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ජල ව්‍යාපෘතියකට අයත් බර වාහනයක් ධාවනය වීම හේතුවෙන් දරවලවත්ත ඉහළ කොටසේ ප්‍රධාන පාලම කඩාවැටී අදට දින නවයක් ගත වී තිබේ. මෙම අනතුර සිදු වූ අවස්ථාවේදී අදාළ පෞද්ගලික කොන්ත්‍රාත් සමාගම විසින් පාලම කඩිනමින් ප්‍රතිසංස්කරණය කර දෙන බවට පොරොන්දු වී තිබුණද, මේ දක්වා කිසිදු නඩත්තු කටයුත්තක් ආරම්භ කර නොමැති බව වාර්තා වේ. පොරොන්දු ඉටු නොකිරීමට සහ බලධාරීන්ගේ පවතින උදාසීන පිළිවෙතට විරෝධය පළ කරමින් ප්‍රදේශයේ වතු කම්කරුවන් අද දින වැඩවර්ජනයක සහ දැවැන්ත විරෝධතාවයක නිරත වූහ.
පාලම කඩාවැටුණු සැනින් ලොරි රථය ඉවතට ගැනීමට කටයුතු කළ සමාගම, ඉන් අනතුරුව ජනතාවගේ දෛනික ගමනාගමන අවශ්‍යතා පිළිබඳව කිසිදු තැකීමක් කර නොමැති බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති. මෙම බරපතළ තත්ත්වය සම්බන්ධයෙන් වතු අධිකාරිය හෝ ජල සම්පාදන ඒකකය මෙතෙක් කිසිදු සාධනීය මැදිහත්වීමක් සිදු කර නොමැති වීම ජනතාවගේ දැඩි දෝෂදර්ශනයට හේතු වී තිබේ. ප්‍රධාන පාලම අක්‍රිය වීම හේතුවෙන් දෛනික ජීවිතය පවත්වාගෙන යාමට නොහැකි වී ඇති බව පවසන විරෝධතාකරුවන් අවධාරණය කරන්නේ තමන්ට කඩිනම් විසඳුමක් ලැබෙන තෙක් සටන අත්නොහරින බවයි.














