ඉන්ධන පිරිමැසීමේ පියවරක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෝරාගත් අංශවලට බදාදා දිනවල නිවසේ සිට වැඩ කිරීමට අවසර
ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ ඉන්ධන පරිභෝජනය අවම කිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට අනුකූලව සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින තෝරාගත් අංශ කිහිපයක නිලධාරීන්ට සෑම බදාදා දිනකම නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය අනුමත කර තිබේ. සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මෙම විශේෂ නිවේදනය නිකුත් කර ඇත.
මෙම සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු කැසල් වීදියේ පිහිටි නව අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ සියලුම අංශ, නාරාහේන්පිට පිහිටි මැලේරියා මර්ධන ව්‍යාපාරයේ මූලස්ථානයට අයත් සියලුම අංශ, ජාතික පිළිකා මර්ධන වැඩසටහන සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් බදාදා දිනවල නිවසේ සිට රාජකාරි කළ යුතුය. ප්‍රවාහන අංශයට අදාළ අත්‍යවශ්‍ය සේවාවන් සුවසිරිපාය ගොඩනැගිල්ලේ සිට ක්‍රියාත්මක කළ යුතු අතර ආහාර පාලන පරිපාලන ඒකකයේ බලපත්‍ර නිකුත් කරන නිලධාරීන් ද බදාදා දිනවල සුවසිරිපාය පරිශ්‍රය වෙත වාර්තා කළ යුතු බව එම නිවේදනයේ සඳහන් වේ.
ඉහත සඳහන් ආයතනවල අත්‍යවශ්‍ය කාර්යයන් විකල්ප ක්‍රමවේද හරහා අඛණ්ඩව පවත්වාගෙන යාමට පියවර ගන්නා ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනෙකුත් අංශවල ද බදාදා දිනවල සේවයට වාර්තා කරන සේවක පිරිස අවම මට්ටමක පවත්වා ගැනීමට කටයුතු කරන ලෙසත් ලේකම්වරයා වැඩිදුරටත් උපදෙස් දී තිබේ. මෙමඟින් සෞඛ්‍ය සේවාවන්හි ඵලදායීතාවය රැකගනිමින් බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීම රජයේ අරමුණ වී ඇත.















