මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් වූ ජාතික නැකැත් සීට්ටුව අද දින නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා තහවුරු කරයි. මීට පෙර නැකැත් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් අතර මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබුණ ද, ඊයේ (16) දින විෂයභාර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකදී එම ගැටලු නිරාකරණය කර ගැනීමට හැකි වී තිබේ.
මෙම තීරණාත්මක සාකච්ඡාවේදී විකල්ප නැකැත් කණ්ඩායමේ ජ්‍යෝතීර්වේදීන් මෙන්ම අනෙකුත් ප්‍රමුඛ පෙළේ ජ්‍යෝතීර්වේදීන් ද එකඟතාවයකට පැමිණ ඇත. ඒ අනුව සියලු දෙනාගේ එකඟතාවයෙන් යුතුව සකස් කරන ලද ඒකාබද්ධ නැකැත් සීට්ටුවක් මෙවර ජනතාව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මෙමඟින් අලුත් අවුරුදු නැකැත් සම්බන්ධයෙන් මහජනතාව තුළ පැවති අවිනිශ්චිතභාවය පහව යනු ඇති අතර, සම්ප්‍රදායානුකූලව රටම එකම වේලාවකට චාරිත්‍ර ඉටු කිරීමට අවශ්‍ය පසුබිම සකස් කෙරෙනු ඇත.














