ඉරානය සමඟ පවතින යුදමය ගැටුම් තෙවන සතියටත් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක, ඉන් තුවාල ලැබූ අමෙරිකානු සෙබළුන් සංඛ්‍යාව 200ක් දක්වා ඉහළ ගොස් ඇති බව අමෙරිකානු මධ්‍යම විධානය (Central Command) ප්‍රකාශ කරයි. ඉන් බහුතරයක් සුළු තුවාල ලැබූවන් වන අතර සෙබළුන් 180 දෙනෙකු මේ වන විටත් නැවත සේවයට වාර්තා කර තිබේ. කෙසේ වෙතත්, සෙබළුන් 10 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.
පසුගිය පෙබරවාරි 28 වනදා ආරම්භ වූ මෙම යුද්ධයේදී ඉරානය එල්ල කළ ප්‍රහාරවලින් මේ දක්වා අමෙරිකානු සෙබළුන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. කුවේටය, සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජෝර්දානය, බහරේනය, ඉරාකය සහ ඊශ්‍රායලය යන රටවල ස්ථාපිත අමෙරිකානු කඳවුරුවල සිටි සෙබළුන් මෙලෙස තුවාල ලබා තිබේ. අමෙරිකානු හමුදා ඉලක්කවලට අමතරව ගල්ෆ් කලාපයේ රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල, හෝටල්, ගුවන් තොටුපළ සහ බලශක්ති යටිතල පද්ධති වෙත ද ඉරාන ප්‍රහාර එල්ල වී ඇති බව සඳහන් වේ.
අමෙරිකාව ද ඉරානයේ ඉලක්ක 7,000කට අධික ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කර ඇති අතර, මෙම ගැටුම් අතරතුර අමෙරිකාව සතු ‘MQ-9 Reaper’ වර්ගයේ ප්‍රහාරක ඩ්‍රෝන යානා 12ක් පමණ විනාශ වී ඇති බව අමෙරිකානු නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට තහවුරු කර ඇත. අඩි 50,000ක පමණ උසක සිට පැය 27කට වඩා වැඩි කාලයක් මෙහෙයුම් සිදුකළ හැකි මෙම ඩ්‍රෝන යානා ඔත්තු බැලීම සඳහා මෙන්ම මිසයිල ප්‍රහාර එල්ල කිරීම සඳහා ද යොදාගැනේ.














