තාක්ෂණික නවෝත්පාදන සහ සූදු කර්මාන්තයේ (Gaming Industry) කලාපීය කේන්ද්‍රස්ථානයක් ලෙස කොළඹ නගරය ස්ථානගත කිරීමට රජය පියවර ගනිමින් සිටින බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා ප්‍රකාශ කරයි. කොළඹදී ආරම්භ වූ ‘Global Game Connect (GGC) 2026’ සමුළුව අමතමින් ඔහු කියා සිටියේ, අධි-තාක්ෂණික දියුණුව සඳහා හිතකර නියාමන සහ තාක්ෂණික වටපිටාවක් නිර්මාණය කිරීමට රජය අවධානය යොමු කර ඇති බවයි.
චීන තාක්ෂණික අංශයේ මෘදුකාංග සහ API විශේෂඥයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම වැඩපිළිවෙළ, මෙරට ප්‍රකෘතිමත් වෙමින් පවතින සංචාරක ක්ෂේත්‍රය සහ ඩිජිටල් කර්මාන්ත ඒකාබද්ධ කිරීමේ උපායමාර්ගික පියවරකි. විශේෂයෙන්ම ඉන්දියාවට සමීපව පිහිටීම හරහා දකුණු ආසියානු වෙළෙඳපොළ සඳහා දොරටුවක් ලෙස ශ්‍රී ලංකාව භාවිත කිරීමට මෙහිදී අපේක්ෂා කෙරේ. ඩොලර් බිලියන 1.2ක ආයෝජනයකින් ඇරඹි ‘City of Dreams’ ව්‍යාපෘතිය හරහා මෙම ක්ෂේත්‍රයේ විශාල පිම්මක් සනිටුහන් වූ අතර, එමඟින් වාර්ෂිකව ඩොලර් මිලියන 250ක ආදායමක් ජනනය වනු ඇතැයි ගණන් බලා ඇත.
මෙම කර්මාන්තයෙන් අය කරන සියයට 18ක බදු දායකත්වය ජාතික සංචිත ශක්තිමත් කිරීමට ඉවහල් වන අතර, 2026 වසරේදී සංචාරකයන් මිලියන 3ක් ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමට ද මෙය විශාල රුකුලක් වනු ඇත. මීට අමතරව, නව ‘Digital Nomad Visa’ ක්‍රමය හරහා විදේශිකයන් වැඩි කාලයක් මෙරට රැඳී සිටීම දිරිමත් කිරීම තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ද රජය සැලසුම් කර තිබේ.














