ලොව සුප්‍රසිද්ධ Amazon සමාගමට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් චීනයේ දැවැන්තම සිල්ලර වෙළඳ ආයතනය වන JD.com, සිය Joybuy වේදිකාව හරහා බ්‍රිතාන්‍ය වෙළඳපොළට නිල වශයෙන් පිවිස තිබේ. මිල්ටන් කේන්ස් (Milton Keynes) සහ ලුටන් (Luton) යන ප්‍රදේශවල පිහිටි සිය බෙදාහැරීමේ මධ්‍යස්ථාන මගින් තාක්ෂණික මෙවලම්, ගෘහ උපකරණ, රූපලාවන්‍ය නිෂ්පාදන සහ ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමට ඔවුන් සැලසුම් කර ඇත. මීට පෙර Currys සහ Argos වැනි ආයතන මිලදී ගැනීමට ගත් උත්සාහයන් අත්හැර දැමූ JD.com, දැන් සෘජුවම සිය සේවාවන් බ්‍රිතාන්‍ය පාරිභෝගිකයන් වෙත සමීප කිරීමට තීරණය කර තිබේ.
ආරම්භයේදීම බ්‍රිතාන්‍යයේ නිවාස මිලියන 17කට පමණ ‘ඊළඟ දිනම භාණ්ඩ බෙදාහැරීමේ’ (Next-day delivery) සේවාව ලබා දෙන බව ආයතනය පවසයි. Joybuy UK කළමනාකාර අධ්‍යක්ෂ මැතිව් නොබ්ස් මහතා සඳහන් කළේ, බ්‍රිතාන්‍යයට අමතරව ජර්මනිය, ප්‍රංශය සහ නෙදර්ලන්තය ඇතුළු යුරෝපීය රටවල් හයක ද මෙම සේවාව සමගාමීව දියත් කරන බවයි. Amazon සමාගම සිය ඇතැම් මධ්‍යස්ථාන වසා දැමීමට තීරණය කර ඇති පසුබිමක, JD.com හි මෙම ආගමනය යුරෝපීය අන්තර්ජාල වෙළඳ ක්ෂේත්‍රය තුළ දැඩි තරගකාරීත්වයක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.














