ඇමරිකාව, ඉශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අද (අඟහරුවාදා) දිනයේදී බැරලයක් ඩොලර් 103.15ක පමණ අගයක පැවතී තිබේ. අද පෙරවරුවේ තෙල් මිල බැරලයක් ඩොලර් 105 දක්වා සීඝ්‍රයෙන් ඉහළ ගියද, පසුව එය සුළු වශයෙන් පහත වැටී ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි. මීට පෙර හෝමුස් සමුද්‍ර සන්ධියේ නෞකා ගමනාගමනයට බාධා එල්ල වීම නිසා තෙල් මිල දැඩි ලෙස ඉහළ ගිය අතර, ඇතැම් නෞකා ආරක්ෂිතව එම කලාපය හරහා ගමන් කර ඇති බවට වාර්තා වීමත් සමඟ මිලෙහි යම් අඩුවීමක් දක්නට ලැබුණි.
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් නැව් කිහිපයකට ගමන් කිරීමට අවසර ලබා දීම සඳහා ඉරානය සමඟ සාකච්ඡා පවත්වන බව ඉරාක තෙල් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත. මේ අතර, ගෝලීය තෙල් සැපයුමට පවතින පීඩනය අවම කිරීමේ අරමුණින් ඇමරිකාව විසින් පනවා තිබූ ඇතැම් සම්බාධක ඉවත් කිරීමත් සමඟ, චීන තෙල් සමාගම් රුසියාවෙන් බොරතෙල් ලබා ගැනීමට උත්සාහ කරමින් සිටින බව ද වාර්තා වේ. ලෝකයේ සමස්ත තෙල් සැපයුමෙන් පහෙන් එකක්ම ප්‍රවාහනය කෙරෙන්නේ මෙම ඉතා පටු හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා බැවින්, එහි පවතින ඕනෑම අස්ථාවරත්වයක් ගෝලීය බලශක්ති මිල ගණන් කෙරෙහි සෘජුවම බලපානු ලබයි.














