මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ගෝලීය ඉන්ධන මිල ඉහළ යාම සහ සැපයුම් මාර්ග අඩාල වීම හමුවේ ශ්‍රී ලංකාව තුළ මතුවිය හැකි ප්‍රවාහන අර්බුදයට විසඳුම් ලෙස දුම්රිය සේවාව කඩිනමින් පුළුල් කළ යුතු බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි. අද (17) නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ ඉන්ධන සීමා වීමත් සමඟ පෞද්ගලික වාහන භාවිතය අවම වී, කාර්යාල සේවකයන් සහ පාසල් සිසුන් ඇතුළු මහජනතාව පොදු ප්‍රවාහනය වෙත යොමු වීම අනිවාර්යයෙන්ම සිදුවන්නක් බවයි.
විශේෂයෙන්ම නාගරික සහ තදාසන්න ප්‍රදේශවල ගමනාගමන අවශ්‍යතා ඉහළ යාම නිසා වත්මන් ප්‍රවාහන පද්ධතිය මත ඇති වන දැඩි පීඩනය කළමනාකරණය කිරීමට නම් දුම්රිය සේවාව ශක්තිමත් කිරීම අත්‍යාවශ්‍ය බව ඔවුන් අවධාරණය කරයි. මේ සම්බන්ධයෙන් සිය සංගමය විසින් සකස් කරන ලද විශේෂ යෝජනා මාලාවක් ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට ද පියවර ගෙන තිබේ. ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල බැරලයකට 103$ දක්වා ඉහළ ගොස් ඇති පසුබිමක, රජය විසින් ක්‍රියාත්මක කිරීමට යන “බදාදා නිවාඩුව” වැනි පියවරයන්ට අමතරව මෙවැනි ස්ථාවර ප්‍රවාහන සැලසුම් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම දුම්රිය ස්ථානාධිපතිවරුන් පෙන්වා දෙයි.
මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම හරහා ඉන්ධන අර්බුදය හමුවේ වුවද ජනතාවගේ දෛනික ගමනාගමන අවශ්‍යතා බාධාවකින් තොරව ඉටු කිරීමට හැකි වනු ඇතැයි එම සංගමය විශ්වාසය පළ කරයි. මීට පෙර මාර්තු 04 වැනිදා ද මේ පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට ඔවුන් කටයුතු කර තිබුණි.














