ඉශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා විසින් ඝාතනය කළ බවට ප්‍රකාශ කළ ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි (Ali Larijani) තමන් තවමත් ජීවතුන් අතර සිටින බව හඟවන අතින් ලියන ලද සටහනක් ඔහුගේ නිල X ගිණුම හරහා ප්‍රකාශයට පත් කර තිබේ. අල්ජසීරා පුවත් සේවය වාර්තා කරන්නේ ඉරාන රාජ්‍ය මාධ්‍ය ද මෙම සටහන බෙදාහැර ඇති අතර, එය මෑතකදී ඇමරිකානු ප්‍රහාරයකින් මියගිය ඉරාන නාවිකයින් පිරිසක් අනුස්මරණය කරමින් ලියා ඇති බවයි.
පසුගිය සිකුරාදා ටෙහෙරාන් නුවර පැවැති ‘අල්-කුඩ්ස්’ දින පෙළපාලියට ද සහභාගී වූ ලැරිජානි, එහිදී සිදු වූ බෝම්බ ප්‍රහාරය හමුවේ අදහස් දක්වමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි ලෙස විවේචනය කර තිබුණි. ඉරාන ජනතාවගේ අධිෂ්ඨානය බිඳීමට මෙවැනි ප්‍රහාරවලට නොහැකි බවත්, ඉශ්‍රායලය සහ ඇමරිකාව සිදුකරන බලපෑම් හමුවේ තමන් තවදුරටත් ශක්තිමත් වන බවත් ඔහු අවධාරණය කළේය.
මැදපෙරදිග යුද ගින්න මෙලෙස උච්චතම අවස්ථාවකට පැමිණ තිබියදී, එහි බලපෑම ශ්‍රී ලංකාවට ද දැඩිව දැනෙමින් පවතී. ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල බැරලයකට 103$ දක්වා ඉහළ යාමත් සමඟ මෙරට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යා හැකි බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අනතුරු අඟවා ඇත. තවද ඉන්ධන අර්බුදය හමුවේ අධ්‍යාපන චාරිකා සහ රථ පෙළපාලි තාවකාලිකව අත්හිටුවීමට ද විදුහල්පතිවරුන්ට උපදෙස් දී තිබේ.














