ශ්‍රී ලංකාවේ දේශීය සාර්ව මූල්‍ය තත්ත්වය 2025 වසර තුළ තවදුරටත් ශක්තිමත් වී ඇති අතර, එය රටේ ණය ව්‍යාප්තිය අඛණ්ඩව පවත්වාගෙන යාමට විශාල රුකුලක් වී තිබේ. 2024 වසර අවසානයේ වාර්තා වූ 4.1% ක මන්දගාමී ණය වර්ධනය හා සසඳන විට, 2025 වසර අවසානය වන විට බැංකු සහ මූල්‍ය සමාගම් මගින් ලබා දී ඇති මුළු ණය ප්‍රමාණය 21.4% ක කැපී පෙනෙන අගයකින් ඉහළ ගොස් ඇත. මෙම වර්ධනය ප්‍රධාන වශයෙන් පෞද්ගලික අංශය කේන්ද්‍ර කර ගනිමින් සිදු වී ඇති අතර වෙළඳාම, පරිභෝජනය, ඉදිකිරීම් සහ නිෂ්පාදන වැනි විවිධ ආර්ථික ක්ෂේත්‍ර රැසක් හරහා මෙම ණය ව්‍යාප්තිය පුළුල් ලෙස විසිරී පවතී. විශේෂයෙන්ම මූල්‍ය සේවා අංශය සඳහා ලබා දුන් ණය ප්‍රමාණය 148% කින් අසාමාන්‍ය ලෙස ඉහළ යාම මෙහිදී දක්නට ලැබුණු සුවිශේෂී වර්ධනයකි.
කෙසේ වෙතත්, ණය ලබා දීම දළ දේශීය නිෂ්පාදිතයට (GDP) සාපේක්ෂව වේගයෙන් වර්ධනය වීම නිසා මූල්‍ය පද්ධතිය තුළ යම් අවදානම් සහගත තත්ත්වයක් ගොඩනැගීමේ ඉඩකඩක් පවතින බැවින් ඒ පිළිබඳව දැඩි සුපරීක්ෂාවකින් පසුවීම අත්‍යවශ්‍ය වේ. මැදපෙරදිග කලාපයේ පවතින භූ-දේශපාලනික ගැටුම්, ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල බැරලයකට 103$ මට්ටමේ පැවතීම සහ අහිතකර කාලගුණික තත්ත්වයන් වැනි බාහිර සාධක ණය ආපසු ගෙවීමේ හැකියාවට අහිතකර ලෙස බලපෑම් කළ හැකි බව ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති. මීට අමතරව, පවතින බලශක්ති අර්බුදය හමුවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යා හැකි බවට වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ද මීට පෙර අනතුරු අඟවා තිබේ.
ණය ව්‍යාප්තියත් සමඟ බැංකු පද්ධතියේ ප්‍රාග්ධන සංචිත (Capital Adequacy Ratio) 20.3% සිට 17.9% දක්වා තරමක් පහළ බැස ඇති නමුත්, එම මට්ටම් තවමත් නියාමන අවශ්‍යතාවලට වඩා ඉහළින් පවතින බැවින් මූල්‍ය ක්ෂේත්‍රයේ ඔරොත්තු දීමේ හැකියාව තවදුරටත් තහවුරු වී ඇත. මැදපෙරදිග යුද අර්බුදය හේතුවෙන් රජය විසින් “බදාදා නිවාඩුව” පැනවීම සහ ඉන්ධන සීමා කිරීම වැනි දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇති මෙවැනි පසුබිමක, මෙම ණය ව්‍යාප්තිය ආර්ථිකය පණගැන්වීමට ඉවහල් වන නමුත් ගෝලීය අස්ථාවරත්වය හමුවේ මතු විය හැකි අවදානම් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවීම රජයේ සහ මූල්‍ය ආයතනවල වගකීමකි.














