ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති පැට්‍රීෂියා ලාසාරා පෙගෝ ගුවේරා මහත්මිය ඊයේ (06) පාර්ලිමේන්තුවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය. වසර 65කට අධික කාලයක් පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
කියුබාව මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහ විශේෂයෙන් ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා ලබාදෙන සහයෝගය පිළිබඳව කථානායකවරයා මෙහිදී සිය කෘතඥතාව පළ කළේය. තමා වෛද්‍ය ශිෂ්‍යයෙකුව සිටි සමයේ හමුවූ කියුබානු වෛද්‍යවරුන්ගේ මානුෂීය ගුණාංග පිළිබඳවද ඔහු ගෞරවයෙන් සිහිපත් කළේය. ශ්‍රී ලංකා – කියුබා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය හරහා දෙරටේ සහයෝගීතාව තවදුරටත් ව්‍යාප්ත කිරීමටත්, අධ්‍යාපන, ක්‍රීඩා සහ වැවිලි කර්මාන්තය වැනි ක්ෂේත්‍රවල නව අවස්ථා ඇති කර ගැනීමටත් මෙහිදී එකඟතාව පළ විය. තානාපතිවරිය මෙහිදී ශ්‍රී ලංකා රජයේ කළමනාකරණ හැකියාව අගය කළ අතර, විශේෂයෙන් ‘දිට්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් පසු රට යථාවත් කිරීමට ගත් කඩිනම් පියවර ඇයගේ ප්‍රශංසාවට ලක්විය.














