පවතින මැදපෙරදිග අර්බුදය හේතුවෙන් ජාත්‍යන්තර සැපයුම් මාර්ගවලට එල්ල වී ඇති බාධා හමුවේ ඉදිරියේදී මෙරට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ඉහළ යාමේ හැකියාවක් පවතින බව වෙළඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. අද පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවට අවශ්‍ය පරිභෝජන ද්‍රව්‍ය රැසක් විදේශයන්ගෙන් ආනයනය කරන බැවින්, ජාත්‍යන්තරයේ පවතින දේශපාලනික හා ආරක්ෂක නොසන්සුන්තා මෙරට වෙළඳපොළ මිල ගණන් කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කරන බවයි. විශේෂයෙන්ම මෙරට වාර්ෂික අර්තාපල් අවශ්‍යතාවයෙන් 80%ක්, ලොකු ලූනු අවශ්‍යතාවයෙන් 80%ක් සහ පරිප්පු අවශ්‍යතාවයෙන් සම්පූර්ණයෙන්ම පාහේ (100%ක්) සපුරා ගන්නේ ආනයනය මගින් බැවින් එම භාණ්ඩ සම්බන්ධයෙන් මෙම බලපෑම තදින්ම දැනෙනු ඇතැයි ඔහු සඳහන් කළේය.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් නාවික භාණ්ඩ ප්‍රවාහන වියදම් මෙන්ම රක්ෂණ ගාස්තු ද ඉහළ ගොස් ඇති අතර, එය ආනයනික භාණ්ඩවල පිරිවැය ඉහළ යාමට ප්‍රධාන හේතුව වී තිබේ. කෙසේ වෙතත්, මෙම තත්ත්වය අවස්ථාවක් කරගනිමින් වෙළඳුන් පාරිභෝගිකයා අසීරුවට පත් කරමින් සිදු කරන අසාධාරණ මිල ඉහළ දැමීම් වැළැක්වීමට රජය උපරිම පියවර ගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. ජාත්‍යන්තර සැපයුම් මාර්ගවල පවතින බාධා හමුවේ වුවද දේශීය ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා අවශ්‍ය විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව ද රජයේ අවධානය යොමු වී ඇත.














