ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය (Fuel QR) ආශ්‍රිතව පැවති තාක්ෂණික බාධාවන් බොහෝමයක් මේ වන විට සාර්ථකව නිරාකරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා අද (17) ප්‍රකාශ කළේය. ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට ලක්ෂ 4කට අධික පිරිසක් සිය QR කේත ලබාගෙන අවසන් බවත්, තවමත් එය සම්පූර්ණ කර නොමැති පිරිස 10,000ක් වැනි සුළු සංඛ්‍යාවක් බවත්ය.
පද්ධතියේ පවතින තදබදය සහ ලියාපදිංචි වීමේදී මතුවන ගැටලු පිළිබඳව අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, සෑම පැයකදීම 30,000ක පමණ පිරිසක් අලුතින් ලියාපදිංචි වීමට උත්සාහ කරන බවයි. මෙලෙස අධික තදබදයක් පවතින අවස්ථාවල පද්ධතියේ “Error” පණිවිඩයක් දිස්විය හැකි වුවද, නැවත නැවත උත්සාහ කිරීමෙන් ලියාපදිංචි වීමේ හැකියාව පවතින බව ඔහු අවධාරණය කළේය. පද්ධතියේ නිරවද්‍යතාව තහවුරු කිරීම සඳහා ද්විත්ව ලියාපදිංචි කිරීම් ඇතුළු වැරදි දත්ත මිලියන 2ක් පමණ මේ වන විට ඉවත් කර ඇති බව ද ඔහු අනාවරණය කළේය.
මීට අමතරව, වාහන හිමිකාරිත්වය නීත්‍යානුකූලව මාරු කර නොමැති පිරිස සඳහා ද සහනයක් ලබා දීමට රජය පියවර ගෙන ඇත. ඒ අනුව පළාත් 9 සඳහා විශේෂ දුරකථන අංක 9ක් හඳුන්වා දෙන අතර, එම අංකවලට වට්සැප් (WhatsApp) මගින් තොරතුරු යොමු කර අනන්‍යතාව තහවුරු කිරීමෙන් පසු අදාළ QR කේතය ලබා ගැනීමට අවශ්‍ය පියවර සකසා දෙනු ලැබේ. වත්මන් ඉන්ධන කෝටා චක්‍රය මේ සති අන්තයෙන් අවසන් වන බැවින්, මෙතෙක් ලියාපදිංචි නොවූ පිරිස වහාම ලියාපදිංචි වන ලෙස ද කළමනාකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියි.













