බස්නාහිර පළාත තුළ සිදුවන අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා මහජන සහාය ඍජුව ලබා ගැනීමේ අරමුණින් නව WhatsApp දුරකථන අංකයක් හඳුන්වා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත. ඒ අනුව 0777 128 128 දරන මෙම අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක වන පරිදි විවෘතව පවතී.
මෙම සේවාව හරහා බස්නාහිර පළාතේ සිදුවන ඕනෑම අපරාධයක්, මත්ද්‍රව්‍ය ජාවාරමක් හෝ වෙනත් නීතිවිරෝධී ක්‍රියාවක් සම්බන්ධ තොරතුරු, ඡායාරූප හෝ වීඩියෝ දර්ශන පොලිසිය වෙත යොමු කළ හැකිය. මෙම තොරතුරු ඍජුවම බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ස්ථාපිත විශේෂ මෙහෙයුම් මැදිරිය වෙත ලැබෙනු ඇත. තොරතුරු ලබාදෙන පුද්ගලයන්ගේ අනන්‍යතාවය සහ රහස්‍යභාවය උපරිමයෙන් සුරැකීමට පොලිසිය සහතික වන බැවින්, බියකින් තොරව නිවැරදි තොරතුරු ලබාදී අපරාධ මර්ධනයට සහාය වන ලෙස පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














