ඇමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර හටගෙන ඇති යුදමය තත්ත්වය තවදුරටත් උග්‍ර වෙමින් පවතින පසුබිමක, බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් ‘HMS Dragon’ නමැති ප්‍රබල විනාශකරු (Destroyer) වර්ගයේ යුද නෞකාව සයිප්‍රසය බලා යාත්‍රා කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අද (17) දිනයේ මෙම නෞකාව ස්පාඤ්ඤයේ දකුණු කෙළවර පිහිටි ගිබ්‍රෝල්ටාර්හි සැපයුම් ලබා ගැනීම සඳහා නැංගුරම් ලා සිටින අයුරු BBC පුවත් සේවය විසින් තහවුරු කර ඇත.
සයිප්‍රසයේ පිහිටි බ්‍රිතාන්‍යයට අයත් ‘අක්‍රොටිරි’ ගුවන් හමුදා කඳවුරට ඉරාන හිතවාදී හිස්බුල්ලා සංවිධානය විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු මෙම හදිසි ආරක්ෂක පියවර ගෙන තිබේ. ලෝකයේ දියුණුම ගුවන් ආරක්ෂක පද්ධතියක් ලෙස සැලකෙන ‘සී වයිපර්’ (Sea Viper) මිසයිල පද්ධතියෙන් සන්නද්ධ HMS Dragon නෞකාව යෙදවීම හරහා සයිප්‍රසයේ පිහිටි බ්‍රිතාන්‍ය කඳවුරුවල ආරක්ෂාව තහවුරු කිරීමට බ්‍රිතාන්‍ය රජය අපේක්ෂා කරයි. මධ්‍යධරණී මුහුදේ නැගෙනහිර කලාපයේ පවතින මෙම යුදමය තත්ත්වය කලාපීය ආරක්ෂාවට මෙන්ම ලෝක වෙළඳ ගමනාගමනයට ද දැඩි බලපෑමක් එල්ල කරමින් පවතී.














