අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හෝ අමාත්‍යවරුන්ගේ බලපෑමෙන් තොරව ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වීමට අවශ්‍ය පරිසරය සකස් කිරීම රජයේ මූලික අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. දූෂණ විරෝධී පනත යටතේ එම කොමිසමේ නිලධාරීන්ගේ සහ සේවකයින්ගේ වැටුප් හා සේවා කොන්දේසි තීරණය කිරීම පිළිබඳ අතුරු යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. 2023 වසරේදී දූෂණ විරෝධී පනත සම්මත වුවද, කොමිෂන් සභාවේ සක්‍රීය ක්‍රියාකාරීත්වයක් දැනෙන්නට පටන් ගත්තේ 2025 වසරේ සිට බවත්, නිලධාරීන් බඳවා ගැනීමේ සීමාවන් ඇතුළු ප්‍රායෝගික බාධා රැසක් හමුවේ කොමිසම මෙතෙක් අභියෝගාත්මක කාලසීමාවකට මුහුණ දුන් බවත් ඇය පෙන්වා දුන්නාය.
අග්‍රාමාත්‍යවරිය අනාවරණය කළ පරිදි, නව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩ භාර ගන්නා විට විමර්ශන අවසන් කර නඩු පවරා නොමැති ලිපිගොනු 4,000කට අධික ප්‍රමාණයක් කොමිසම සතුව තිබූ අතර නීති නිලධාරීන් සිට ඇත්තේ 31ක් වැනි සුළු පිරිසකි. මෙම නව යෝජනාව සම්මත වීමත් සමඟ නිලධාරීන් බඳවා ගැනීමට, දීමනා තීරණය කිරීමට සහ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් ස්වාධීන තීරණ ගැනීමට කොමිසමට බලය හිමිවන අතර, එය මෙරට නව දේශපාලන සංස්කෘතියක් සහ විනිවිද පෙනෙන රාජ්‍ය සේවයක් ගොඩනැගීමට අත්‍යවශ්‍ය පියවරක් වනු ඇත. දූෂණයෙන් තොර රටක් ගොඩනැගීමේ රජයේ ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීමට මෙමගින් හැකියාව ලැබෙන බව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.
තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය වත්මන් ගෝලීය බලශක්ති අර්බුදය කළමනාකරණය කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද කරුණු පැහැදිලි කළාය. ඒ අනුව, අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම, රාජ්‍ය අංශයේ බලශක්ති කළමනාකරණය, නව බලශක්ති ප්‍රසම්පාදන ක්‍රමවේද හඳුන්වාදීම සහ පීඩාවට පත්වන අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා සහන සැලසීම වෙනුවෙන් විශේෂ කමිටු හතරක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. දේශපාලන භේදයකින් තොරව සහ රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශ ඒකාබද්ධව මෙම ගෝලීය අභියෝගයට සාමූහිකව මුහුණ දිය යුතු බවත්, නිසි කළමනාකරණය හරහා මෙම තත්ත්වය ජය ගැනීමට රජය කැපවී සිටින බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.














