ඇමෙරිකාව, ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුදමය වාතාවරණය සහ ගුවන් සීමාවන්හි පවතින අවිශ්චිතතාව හේතුවෙන් මැදපෙරදිග ගමනාන්ත රැසක් වෙත ක්‍රියාත්මක කළ ගුවන් ගමන් අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කිරීමට යුරෝපයේ ප්‍රමුඛ පෙළේ ගුවන් සමාගම් තීරණය කර ඇත. බ්‍රිතාන්‍ය එයාර්වේස් (British Airways), එයාර් ෆ්‍රාන්ස් (Air France) සහ ලුෆ්තන්සා (Lufthansa) යන ගුවන් සේවා මේ පිළිබඳව නිල වශයෙන් නිවේදනය කර ඇති අතර එමගින් ජාත්‍යන්තර ගුවන් ගමන් කාලසටහන් රැසක් උඩුයටිකුරු වී තිබේ.
ඒ අනුව, බ්‍රිතාන්‍ය එයාර්වේස් සමාගම ජෝර්දානයේ අම්මාන්, බහරේනය, ඩුබායි සහ ටෙල් අවිව් වෙත සිදුකරන ගුවන් ගමන් එළඹෙන මැයි 31 වනදා දක්වා අවලංගු කර ඇත. දෝහා වෙත ගමන්වාර අප්‍රේල් 30 දක්වා අත්හිටුවා ඇති අතර, සවුදි අරාබියේ රියාද් සහ ජෙඩා නගර වෙත පමණක් තවදුරටත් ගුවන් ගමන් පවත්වාගෙන යනු ලැබේ. එයාර් ෆ්‍රාන්ස් සමාගම ද ආරක්ෂක හේතූන් මත ඩුබායි සහ රියාද් වෙත මාර්තු 20 දක්වාත්, ටෙල් අවිව් සහ බීරූට් වෙත මාර්තු 21 දක්වාත් ගුවන් ගමන් නතර කර ඇත. මේ අතර ජර්මනියේ ලුෆ්තන්සා ගුවන් සේවය ද ටෙල් අවිව් (අප්‍රේල් 09 දක්වා) සහ රියාද් (අප්‍රේල් 05 දක්වා) වෙත සිය ගමන්වාර අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
මෙම ගුවන් ගමන් සීමා කිරීම් හේතුවෙන් මැදපෙරදිග සහ යුරෝපය අතර ගමන් කරන මගීන් මෙන්ම භාණ්ඩ ප්‍රවාහන කටයුතු ද දැඩි අපහසුතාවයකට පත්ව ඇති අතර, විකල්ප ගුවන් මාර්ග භාවිත කිරීමට සිදුවීම නිසා ගුවන් ටිකට්පත් මිල ඉහළ යාමේ අවදානමක් ද මතු වී ඇත.














