පවතින ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ මෙරට විදුලි පද්ධතියේ ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීම සඳහා විදුලි වාහන හිමිකරුවන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ඉල්ලීමක් සිදු කළේය. ඒ අනුව, රාත්‍රී 6.00 සිට 10.00 දක්වා පවතින උපරිම විදුලි ඉල්ලුම පවතින කාල සීමාව මගහැර සිය වාහන දිවා කාලයේදී ආරෝපණය කරන ලෙස ඔහු දැනුම් දුන්නේය. වර්තමානයේ විදුලි වාහන භාවිතය ඉහළ යාමත් සමඟ රාත්‍රී කාලයේදී විදුලි පද්ධතියට අලුතින් මෙගාවොට් 300ක පමණ අතිරේක බරක් එක්වී ඇති බවත්, දිවා කාලයේ පවතින අතිරික්ත සූර්ය බලශක්තිය මෙලෙස වාහන ආරෝපණය සඳහා භාවිත කිරීම වඩාත් ඵලදායී වන බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
දැනට මෙරට විදුලි කප්පාදුවක් සැලසුම් කර නොමැති වුවද, මැදපෙරදිග යුදමය තත්ත්වය මත ඉන්ධන සහ ගල්අඟුරු සැපයුම අඩාල වීමේ අවදානමක් පවතින බැවින් පවතින සම්පත් කළමනාකරණය කර ගැනීම අත්‍යවශ්‍ය වේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් බලශක්ති කළමනාකරණය විධිමත් කිරීම සඳහා රජය විසින් ඉදිරියේදී ‘ස්මාර්ට් මීටර්’ (Smart Meters) හඳුන්වා දීමට කටයුතු කරනු ඇත. එමගින් දිවා කාලය සඳහා සහනදායී මිලකුත්, රාත්‍රී උපරිම කාලය සඳහා වැඩි මිලකුත් අය කෙරෙන ද්විත්ව මිල ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.
මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඉන්ධන, ගෑස් සහ ගල්අඟුරු සැපයුමට වන බලපෑම නිරීක්ෂණයට විශේෂ නිරීක්ෂණ කමිටුවක් පත් කර ඇති අතර සංචාරක සහ අපනයන ක්ෂේත්‍රයේ ප්‍රගතිය වෙනුවෙන් ඩොලර් උපයන ආයතනවලට හෙට සිට සෘජුවම ඉන්ධන ආනයනය කර විකිණීම සඳහා තාවකාලික බලපත්‍ර නිකුත් කර ඇති බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.














